ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සමඟ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා සිටි ඉන්දියාව ඊයේ පැවති සුපිරි 4 වටයේ අවසන් තරගයෙන් ලකුණු 6ක පරාජයක් ලැබීය. අවසන් මහ තරගයට දින දෙකක් තිබියදී ප්‍රබල ඉන්දීය පිල මෙසේ බංග්ලාදේශයට පරාජයවීම අසුබ පෙර නිමිත්තක් දැයි කාගේත් කතාබහට ලක් වූවේය.
කාසියේ වාසිය දිනාගත් ඉන්දියාව මුලින් පන්දුවට පහර දෙන ලෙස බංග්ලාදේශයට ආරාධනා කළ හෙයින් නියමිත ඕවර 50 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 265ක් ලබා ගත්තේය. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දියාවේ සියලු පිතිකරුවෝ ලකුණු 259කට දැවී ගියහ.
කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ඊයේ පැවති මේ තරගයේ විසඳුම කෙසේ වුවද ඉන්දියාව හෙට පැවැත්වෙන අවසන් මහ තරගයට පිවිසෙන අතර, බංග්ලාදේශ පිල තරගාවලියේ තෙවැනි තැනට පත්ව තම රට බලා පිටත්වනු ඇත.
ඉන්දීය පිලේ නායක රෝහිත් ෂර්මා පළමු ඕවරයේ හා තිලක් වර්මා තෙවැනි ඕවරයේ දවා ගැනීමෙන් බංග්ලාදේශය පීඩනයක් එල්ල කළ අතර, ආරම්භක පිතිකරු ශුබ්මන් ගිල් එක් අන්තයක් ආරක්ෂා කරගනිමින් ලකුණු රැස් කළද ඔහුගේ උත්සහය ගඟට කැපූ ඉනිමෙන් වූවේය. ගිල් 5 වැනි එක්දින ශතකය වාර්තා කරමින් පන්දු 133කදී හයේ පහර 5ක් හා හතරේ පහර 8ක් සමඟ ලකුණු 121ක් රැස් කළේය. ඔහුගේ දැවී යෑමෙන් අනතුරුව ඉතිරි කඩුලු හතර ලකුණු 51ක් තුළ දවා ගැනීමට බංග්ලාදේශ පිල සමත් වීමෙන් ඉන්දීය පිලට පරාජය අත්විය. ගුල්ගේ දැවී යෑමෙන් අනතුරුව අක්ෂර් පටේල් ලකුණු 42ක් ලබාගත් අතර, ඔහු දවා ගැනීමෙන් බංග්ලාදේශයේ ජය මාවත විවර විය.
බංග්ලාදේශය පන්දුවට පහරදීමේදී මුල් කඩුලු 4 ලකුණු 59කට දැවී ගිය අතර, නායක ෂකීබ් අල් හසන් හා තවුහිද් හිරිඩෝයි එක්ව 5 වැනි කඩුල්ලට පන්දු 115කදී ලකුණු 101ක සම්බන්ධතාවක් ගොඩනඟා කඩා වැටෙමින් තිබූ ඉනිමට මුක්කු ගැසූහ. එහි ප්‍රතිඵලය වූයේ ෂකීබ් අල් හසන් තම එක්දින දිවියේ 55 වැනි අර්ධ ශතකය පසුකොට ලකුණු 80ක් වාර්තා කිරීමය. ෂකීබ් දකුණත් මඳ වේග පන්දු යවන තාකූර්ගේ පන්දුවක් කෙළින්ම කඩුලුලේ වැදීමෙන් 5 වැනි කඩුල්ලට දැවී යද්දී පන්දු 85කදී හයේ පහර 3ක් හා හතරේ පහර 6ක් ඇතුළත් කරමින් කැපී පෙනෙන මෙහවරක යෙදී සිටියේය. තම 14 වැනි එක්දින තරගයට ක්‍රීඩා කරන 22 හැවිරිදි තවුහිද් හිරිඩෝයි 5 වැනි එක්දින අර්ධ ශතකය සම්පූර්ණ කරමින් පන්දු 81කදී හයේ 2ක් හා හතරේ 5ක් සමඟ ලකුණු 54ක් ලබා ගැනීමට සමත් විය.
ඉන්දීය පිලේ ප්‍රබල ක්‍රීඩකයන් වූ විරාත් කෝලි, හර්දික් පාණ්ඩ්‍යා, කුල්දීප් යාදෙව් හා ජස්ප්‍රිත් බුම්රා බංග්ලාදේශයට එරෙහි තරගයට ක්‍රීඩා නොකරන අතර, ඒ වෙනුවට සූර්යකුමාර් යාදෙව්, ප්‍රාසීද් ක්‍රිෂ්ණා, තිලක් වර්මා හා මොහොමඩ් සාමී කන්ඩායමට එක් කොට තිබිණි.
බංග්ලාදේශය කඩුලු 8කට ලකුණු 265 (ඕවර 50)
ෂකීබ් අල් හසන් 80, තවුහිද් හිරිඩෝයි 54, නසූම් අහමඩ් 44, මෙහෙදි හසන් නොදැවී 29, ටැන්සිම් හසන් නොදැවී 14 (මොහොමඩ් සාමී 32/2, ෂාර්දුල් තාකූර් 65/3, ප්‍රාසීද් ක්‍රිෂ්ණා 43/1, අක්ෂා පටේල් 47/1, රවීන්ද්‍ර ජඩේජා 53/1)
ඉන්දියාව සියලු දෙනා දැවී ලකුණු 259 (ඕවර 49.5)
ශුබ්මන් ගිල් 121, කේ.එල්. රාහුල් 19, සූර්යකුමාර් යාදේව් 26 (ටැන්සිම් හසන් 32/2, මුස්ටෆිසූර් රහ්මන් 50/3, ෂකීබ් අල් හසන් 43/1, මෙහෙදි හසන් 50/2, මෙහිදි හසන් මිරාස් 29/1)
ඡායාරූපය – ශාන් රූපස්සර