Sunday, May 11, 2025
Home » පරිසරය පිළිබඳ වගකීම් පැවරී ඇති රාජ්‍ය ආයතන යළි ප්‍රතිව්‍යුහගත කිරීමට තිරණයක්

පරිසරය පිළිබඳ වගකීම් පැවරී ඇති රාජ්‍ය ආයතන යළි ප්‍රතිව්‍යුහගත කිරීමට තිරණයක්

by chanaka
September 17, 2023 8:28 am 0 comment

පරිසරය පිළිබඳ වගකීම් පැවරී ඇති රාජ්‍ය ආයතන යළි ප්‍රතිව්‍යුහගත කිරීමට රජය තිරණය කර තිබෙන බව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා පැවසිය.

ප්‍රතිව්‍යුහගතකිරීමේ කටයුතු සහ පරිසරය ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය නීති තවදුරටත් ශක්තිමත් කිරීමට කමිටුවක් පත් කිරීමට නියමිත බව ද සාගල රත්නායක මහතා සඳහන් කළේය.

එසේම පරිසර දූෂණය වළක්වා පරිසරය රැක ගැනිමේ අරමුණින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කාර්ය සාධක බලකායක් ද පත් කිරීමට නියමිත බවත් පරිසරය සුරැකීමට අදාළ වැඩසටහන් සකස් කර එය ක්‍රියාත්මක කිරිම සහ අධීක්ෂණය කිරීම එම කාර්ය සාධක බලකායට පැවරෙන බවත් ඒ මහතා පැවසිය.

ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා මේ බව සඳහන් කර සිටියේ වරාය නගරයේ කෘතිම වෙරළ තීරයේ දී (Beach Plaza) ඊයේ (16) පෙරවරුවේ පැවති වෙරළ පවිත්‍රතා වැඩසටහනට එක්වෙමිනි.

අද දිනට යෙදී ඇති අන්තර්ජාතික වෙරළ පවිත්‍රතා දිනය හා අද සිට ඇරඹෙන සමුද්‍රීය සම්පත් සුරැකීමේ සතිය නිමිත්තෙන් දිවයින පුරා පිහිටි වෙරළබඩ ආශ්‍රිත දිස්ත්‍රික්ක 14 ම ආවරණය වන පරිදි හඳුනාගත් වෙරළ තීරයන් සහ කලපු ප්‍රදේශ ඉලක්ක කරගනිමින් ස්ථාන 66 දී පවිත්‍රතා වැඩසටහන්, දැනුවත් කිරීමේ වැඩසටහන් හා මුහුද පත්ල පිරිසිදු කිරීමේ වැඩසටහන් සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය විසින් සංවිධානය කර තිබූ අතර, එය මෙලෙස වරාය නගරයේ කෘතිම වෙරළ තීරයෙන් ආරම්භ විය.

සාගල රත්නායක මහතා ද වෙරළ පවිත්‍රතා කටයුතු සඳහා එක් විය.

අනතුරුව පැවති උත්සව සභාව ඇමතූ සාගල රත්නායක මහතා වැඩිදුරටත් මෙසේ ද පැවසීය.

අන්තර්ජාතික වෙරළ පවිත්‍රතා දිනය සහ සමුද්‍රීය සම්පත් සුරැකීමේ සතිය නිමිත්තෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක කර තිබෙනවා. වෙරළ පරිසරය, ඒ වගේම ජලාශ සහ ඇළදොල, ගංගා ආශ්‍රිත පරිසරය අපට ඉතාවැදගත්. එක් පසෙකින් දූපත් රාජ්‍යයක් ලෙස අපට ජල සම්පත වැදගත් වෙනවා. අනෙක් පසින් සංචාරක ව්‍යාපාරයෙන් යැපෙන රටක් ලෙසත්, සංචාරකයන් ආකර්ෂණය කර ගැනීමට අවශ්‍ය පරිසරය අප සෑම අවස්ථාවකදීම රැකගත යුතුයි.

ජනතාව තුළ අකල්මය වෙනසක් ඇති කිරීම, දැනුවත් කිරීම මෙන්ම විශේෂයෙන් දරුවන් අතර පරිසරය රැක ගැනීම කෙරෙහි අවබෝධයක් ලබාදීමට මෙවැනි වැඩසටහන් ඉතා වැදගත් වෙනවා. එබැවින් මෙම වැඩසටහන සංවිධානය කළ සියලුදෙනාට මම ස්තුති වන්ත වෙනවා.

අප හැමදාම සිදු කළේ මෙවැනි මාතෘකා පිළිබඳ කතා කිරීම පමණයි. ඒ නිසා වැදගත් වන්නේ මෙවැනි ප්‍රායෝගික වැඩසටහන් ක්‍රියාත්මක කිරීමයි.

මේ පිළිබඳ කටයුතු කිරීමට සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය, වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව, පළාත් පාලන ආයතන ඇතුළු ආයතන ගණනාවක් තිබෙනවා.

නාවික හමුදාවේ වගකීමක් නොවුණත් ඔවුන් ද මීට සහාය ලබා දෙනවා. ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලය යටතේ ගැසට් කළ සංචාරක කලාප තිබෙනවා. ‍

පරිසරය පිළිබඳ වගකීම් පැවරී ඇති මෙම රාජ්‍ය ආයතන නැවත ප්‍රතිව්‍යුහගත කිරීමක් සිදු කිරීමට අප තීරණය කර තිබෙනවා. ඒ වෙනුවෙන් කමිටුවක් පත් කිරීමට ද නියමිතයි. එම ප්‍රතිව්‍යුහගත කිරීමෙන් පසු පවතින නීති ශක්තිත් කිරීමටත් අප බලාපොරොත්තු වෙනවා. මෙයට සමගාමීව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ සඳහා කාර්ය සාධක බළකායක් ද පත් කිරීමට නියමිතයි. එහි වගකීම වන්නේ වැඩසටන් සකස් කිරීම, ඒවා ක්‍රියාත්මක කිරීම මෙන්ම අධීක්ෂණය කිරීමයි.

ජනතාව නිසි ලෙස දැනුවත් කිරීම සහ තිරසර වැඩසටහන් ක්‍රියාත්මක කර පරිසර දූෂණය අවම කර ගැනීමට අප මෙම වැඩසටහන් මගින් බලාපොරොත්තු වෙනවා.

පරිසරය අපට ඉතා වැදගත්. අප පරිසරය ආරක්ෂා කර නොගතහොත් ඉදිරි පරපුරට පරිසරය අහිමි වී යා හැකියි.ඒ වගේම මෙරට ආර්ථිකයේ රඳා පැවැත්ම සහතික කළ හැක්කේ පරිසරය ආරක්ෂා කිරීම තුළින් පමණයි. එම සියලු වගකීම් රජයට පමණක් පැවරිය නොහැකියි.

පරිසරය ආරක්ෂා කර ගැනීම සම්බන්ධව ජනතාවට ද වගකීමක් තිබෙනවා. එම වගකීම පිළිබඳ ජනතාව දැනුවත් කිරීමටත් නිසි වැඩපිළිවෙළක් තිබිය යුතුයි. ඒ නිසා අපි ඒ වගකීම නිසියාකාරව ඉටු කිරීමට කැපවී සිටිනවා.

ඒ වගේම අඩු පාඩු මඟ හරවා ගනිමින් අප මෙම කටයුතු ඉදිරියට ක්‍රියාත්මක කළ යුතුයි. අද ක්‍රියත්මක කර ඇති මෙම වැඩසටහන ඉතා වැදගත් බව කිවයුතුයි. එසේම මෙම වැඩසටහනට කලාව ද සම්බන්ධ කර ගැනීම ඉතා හොද ප්‍රවණතාවක්. ඒ වගේම මේ සඳහා තාක්ෂණය යොදා ගැනීමත් විශාල ශක්තියක් වෙනවා. මෙම වැඩසටහනට සම්බන්ධ වූ සියලු ආයතනවලට, දෙපාර්තමේන්තුවලට සහ ආරක්ෂක අංශවලට මම ස්තුතිවන්ත වෙනවා.

නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා , සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපති නීතිඥ අසේල බී රැකව, සාමාන්‍යාධිකාරී ජගත් ගුණසේකර යන මහත්වරුන් ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් සහ වරාය නගර පුද්ගලික සමාගමේ පරිසර උපදේශක ඩබ්ලිව්.ඒ.ඩී.ඩී. විජේසූරිය යන මහත්වරුන් මෙන්ම රාජ්‍ය නොවන සංවිධාන හා සාගර විශ්වවිද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT