Home » බංග්ලාදේශයෙන් අපේ අගමැති ඉල්ලූ දේ

බංග්ලාදේශයෙන් අපේ අගමැති ඉල්ලූ දේ

by chanaka
September 18, 2023 4:22 pm 0 comment

ඖෂධ ක්ෂේත්‍රයේ විශේෂඥ දැනුමක් ඇති බංග්ලාදේශයෙන් ශ්‍රී ලංකාවේ ඖෂධ නිෂ්පාදනයට සහයෝගීතාවය අපේක්ෂා කරන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

අග්‍රාමාත්‍යවරයා සහ බංග්ලාදේශ පාර්ලිමේන්තුවේ කථානායක ශිරින් ෂර්මින් චෞද්රි මහත්මිය අතර හමුවක් අද (18) අරලියගහ මන්දිරයේද පැවැති වුණි.

බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව අතර අතීත සහයෝගීතාව ගැන සඳහන් කළ බංග්ලාදේශ කථානායකවරිය දෙරට අතර සබඳතා තවදුරටත් පුළුල් කිරීමේ අවශ්‍යතාවය අවධාරණය කළාය. මෑත කාලීන ආර්ථික අර්බුදයෙන් පසු ශ්‍රී ලංකාව ලබා ඇති වේගවත් ප්‍රගතිය පිළිබඳව ඇය සිය ප්‍රසාදය පළ කළාය. අවශ්‍ය යටිතල පහසුකම් මේ වන විටත් ක්‍රියාත්මක වී ඇති බව තමා දුටු බැවින් සංචාරක ව්‍යාපාරය පුළුල් කිරීමට ශ්‍රී ලංකාවට විශාල හැකියාවක් ඇති බව ඇය මෙහිදී පෙන්වා දුන්නාය.

දෙරටේ පාර්ලිමේන්තු අතර සබඳතා තවදුරටත් වර්ධනය කර ගැනීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අත්දැකීම් හුවමාරු කර ගැනීම සඳහා නව වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම පිළිබඳව අග්‍රාමාත්‍යවරයා මෙහිදී අවධානය යොමු කළේය. බංග්ලාදේශ කථානායකවරිය පැවසුවේ එවැනි සහයෝගීතාවයකින් දෙරටේ ප්‍රජාතන්ත්‍රවාදී පාර්ලිමේන්තු භාවිතයන් ශක්තිමත් කළ හැකි බවයි. එළඹෙන බිම්ස්ටෙක් සහ IORA සමුළු මගින්කලාපයේ රටවල් අතර සහයෝගීතාව ඉහළ නංවනු ඇතැයි ද ඇය පෙන්වා දුන්නාය.

බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ෂීක් හසීනා මහත්මිය වෙත සිය සුභාශිංසන පළ කළ අග්‍රාමාත්‍යවරයා, බංග්ලාදේශයේ ඉහළ තනතුරු කිහිපයක්ම කාන්තාවන් විසින් දරනු ලැබීම අගය කරන ලදී. බංග්ලාදේශයට ඖෂධ ක්ෂේත්‍රයේ විශේෂඥ දැනුමක් ඇති බැවින් ශ්‍රී ලංකාවේ ඖෂධ නිෂ්පාදනය සඳහා සහයෝගීතාව ලබා දෙනු ඇතැයි මෙම හමුවේදී අග්‍රාමාත්‍යවරයා විශ්වාසය පළකළේය.

ජාත්‍යන්තර වෙළඳාමට අවශ්‍ය ප්‍රවාහන කටයුතු සඳහා කොළඹ වරායට අමතරව ත්‍රිකුණාමලය සහ අනෙකුත් ශ්‍රී ලංකාවේ වරායන් භාවිතා කිරීමට බංග්ලාදේශය ඉතා උනන්දුවෙන් සිටින බව කථානායකවරිය මෙහිදී සඳහන් කළේය. යෝජිත දේශගුණ විශ්ව විද්‍යාලය, පොදු ජාලයක් හරහා දකුණු ආසියාවේ බලශක්ති සහයෝගීතාව සහ තොරතුරු තාක්‍ෂණය, අධ්‍යාපනය සහ සංචාරක ව්‍යාපාරයේ ආයෝජන සඳහා ඇති හැකියාව පිළිබඳව ද මෙහිදී වැඩි අවධානයක් යොමුවිය.

රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය, පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන, බංගලාදේශ මහ කොමසාරිස් ටරේක් මොහොමඩ් අරිෆුල් ඉස්ලාම් (Tareq Md Ariful Islam) අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක මෙම සාකච්ඡාවට සහභාගී වූහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2023 – All Right Reserved. Designed and Developed by Lakehouse IT