ඊයේ දිනයේ පැරදුණු මැච් එක බලා ජයග්‍රහකයාගෙන් පාඩමක් ඉගෙන ගන්නැයි මේ තීරුව පළමු කොට කියා සිටී.නැති බැරි වෙලාවට , කෑම බඩු ටික එවන එකාට මේ වගේ වෙලාවක සලකනවා හැරෙන්නට වෙන අවස්ථාවක් ලැබෙන්නේ නැත. දසුන්ලා එහෙම ලෙංගතුකමක් පෑම පරාජයක් නොවේ.
ආයෙත් තෙල් පෝලිමක් ආවොත් , බෙහෙත් හිඟ පාඩු වුවහොත් ‘ යමක් ඉල්ලාගෙන ඒමට’ දැන් අපට එකොළොස් දෙනෙක් සිටිති.
ඒ ඊයේ කතාවය. පෙරේදා , සැප්තැම්බර් 17 වෙනිදා , මේ රට වෙනස් කළ කන්‍යා ලග්නකරුවෝ දෙදෙනක් උපත ලද දිනය වේ. ධර්මපාලතුමා සහ ජේ. ආර්. ජයවර්ධන පාරවල් දෙකක ගියේ මුත්, මේ රටේ සන්ධිස්ථාන ලකුණු කළ චරිතයෝ වූහ.
ධර්මපාලතුමාගේ සීයාගේ කතාවෙන් මේ තීරුව ආරම්භ කරනුයේ වැඩක් ‘කන්ටිනිව්’ නොවන්නේ නම් පැවැත්මක් නැත, යන්න සනාථ කිරීම සඳහාය. මුහන්දිරම් අන්දිරේස් පෙරේරා ධර්ම ගුණවර්ධන ධර්මපාලතුමාගේ මවු පසින් සීයාය. මේ වසරේ දෙසිය වැනි ජන්ම දිනය සමරන මිගෙට්ටුවත්තේ ගුණානන්ද මහා චරිතයේ, සමීපතම ගිහි සගයා වූයේ ඔහුය. කොළඹ පිහිටා ඇති බෝගස් කැපීමට ඉංග්‍රීසින් කටයුතු කරන සමයේ ඊට විරෝධය පළ කරමින් සිංහල බෞද්ධ ඒකාත්මිකතාවයක් ඇති කිරීම සඳහා පිටකොටුවේ බෝධිරාජ සමිතිය පිහිටුවන්නේ මේ දෙපළ විසිනි. අද නම් පිටකොටුවේ බෝධිරාජ සමිතිය කියන්නේ වෙසක් පොහොයට දන්සල් දෙන සහ පිටකොටුව බෝගහ ප්‍රදේශයට පමණක් සීමාවූ දෙයකි. එදා රට වටා බෝධින් වහන්සේ රෝපණය කරමින් මේ වසරේ, වසර එකසිය පනහක් සපිරෙන පාණදුරාවාදය තෙක් මහා ජාතික කර්තව්‍යයක් ඒ සමිතිය ඉටු කළේය. මාළිගාකන්ද විද්‍යෝදය පිරිවෙන සඳහා වූ ඉඩම ලබා දෙමින් ඒ සඳහා බරපැන දැරීම, බෞද්ධ ධජය නිර්මාණය කිරීම ආදිය සඳහා ප්‍රමුඛයා වූයේ මේ ධර්ම ගුණවර්ධන උතුමාය.
පැවිදි මිණි පහන් මේ දෙරණට ධර්මාලෝකය සපයන කල්හි එබඳු ගිහියෝ ද සිය කැපවීම ජාතියේ උස් නිදහස වෙනුවෙන් එසේ මුදා හළහ. ධර්මපාලතුමා අතට ගනු ලැබුවේ ඒ ගිහි පරපුරේ ‘ඊළඟ වටය දිවීමය’.
එතුමාණෝ ජාතිය සඳහා අපූර්ව ආකෘතියක් නිර්මාණය කළහ. පූර්වයේ තිබුණේ ධර්මය මූලික කර ගත් සටනකි. සිංහල බෞද්ධයා යන්න පෙරට ගෙන, මේ රටේ නිදහස හිමිවිය යුත්තේ කාටද, රටේ අයිතිය කාටද යන්න ධර්මපාලතුමාණෝ පැහැදිලි ලෙස වේදිකාවට නැංවිය. මාහැඟි රත්න සතරක් මට තිබේ ඒ මගේ රට, මගේ ජාතිය, මගේ ආගම සහ ඇගේ භාෂාව බැව් එතුමාණෝ තිර කර කියා සිටියහ. එය පළල් දේශපාලන ව්‍යායාමයකි. නැඟී සිටිය යුත්තේ කුමක් මතද යන්න එතුමා අපට කියුවේය.
ධර්මපාල චරිතය මේ රටට විරාභිනන්දනයකි. මේ රටේ වැඩිම පාරවල් ඇත්තේ සහ ගිහියෙක් ලෙස වැඩිම පිළිම ඇත්තේ එතුමාණෝ නමටය. එසේ වෙද්දී ඉන්දියාවේ ගාන්ධිට තිබූ ස්ථානය ධර්මපාලතුමාට අහිමි වූයේ ඇයි…? ධර්මපාල චරිතය සඳහා ඉන්දියාවෙන් ගත හැක්කේ සර්දාර් පටෙල්ය.
ගාන්ධිට අවශ්‍ය වූයේ ඉන්දීය භූමිය සුද්දාගෙන් නිදහස් කර ගැනීම පමණය. අන් සියලු ආකෘති වනාහි සුද්දා ද අවුලක් නැතිදේය. දේශීය ඇඟලුම් නිෂ්පාදනය වැනි සංකේත ඔස්සේ ගාන්ධි විසින් දේශීය නිෂ්පාදන ආර්ථිකය දිරි ගන්වන ලදී. එහෙත් සුද්දා යටපත් කළ හින්දු අනන්‍යතාවය යළි ඉන්දියාවේ නඟා සිටුවීමේ අවශ්‍යතාවයක් ගාන්ධිගේ සටන් පොතේ තිබුණේ නැත. ඔහු සටන් කළේ නිරාගමික ඉන්දියාවක් වෙනුවෙනි. ඒ කියන්නේ, ඉන්දියාවෙන් පිටමං වෙන සුද්දා වෙත ඔහු බිහි කළ ඉන්දීය අනන්‍යතාවයේ සිටමැ යා හැකි මාවතකි. පටෙල් ඊට ඉඳුරාම වෙනස් ව සුද්දාගේ වෙනසට ලක්ව, ගරා වැටී ගිය ඉන්දීය අනන්‍යතාවය යළි ගොඩ නැඟීම වෙනුවෙන් උත්සුක විය. මෝදිගේ භාරතීය ජනතා පක්ෂය ගාන්ධි වීරත්වයෙන් පහළ බස්සා හින්දු සංස්කෘතිය වෙනුවෙන් කැප වී සටන් කළ භාරත වීරයෝ යළි ජීවමාන කර ඇත්තේ ගාන්ධිගේ දිශානතිය ඔස්සේ තවත් ‘දිව යා හැකි’ නොවන නිසාය. නර්මදා නදිය අසල වඩෝද්‍ර නගරයට ගිනිකොන දෙසින් සර්දාර් සරෝවර් වේල්ලට මුහුණලා ලොව ඇති උසම පිළිමය ලෙස සර්දාර් වල්ලාභායි පටෙල්ගේ පිළිමයක් ඉදිවන්නේ ඒ නිසාය. දැන් ඉන්දියාව ගමන් කරන්නේ භාරතය නම් අනන්‍යතාවය දෙසටය. ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම ඊළඟ ලෝක කුසලානය සඳහා තරග වැදිය යුත්තේ භාරත නමින් බව දැන් යෝජනා වී තිබේ.
අපට නැත්තේ ඒ අඛණ්ඩ ගමනය. ධර්ම ගුණසිංහයන්ගේ අවමඟුල සඳහා සෙනඟ පිරී ඉතිරී සිටි ආකාරය ඕල්කට්තුමා සිය වාර්තා හි දක්වා තිබේ. එදා සිටි සෙනඟ විසිරී ගිය පසු ධර්මපාලතුමාණෝ නොසිටින්නට ඒ ගිහි සටන නිමා වන්නට ඉඩ තිබුණි. එතැනින් වැඩේ නිමා නොවුණේ, ධර්මපාල කාර්යභාරය නිසාය. ධර්ම ගුණසිංහ නම ද වසාගෙන යන තරමට ධර්මපාලතුමා සිය මෙහෙවර දියත් කළේය.
පිළිම එමට ඇතත්, වැඩිම මාවත් ඇත්තේ ඒ උතුමා නමින් වුවත්, ධර්මපාල මඟේ අප හරි හැටි ගමන් කරන්නේ නැත.
එතුමාගේ දේශපාලනය අප තවම හදාරා නැති පොතකි. එන්. ජී.ඕ කරුවන්ගේ නිතර ගැරහුමට ලක් වෙන චරිතය බැවින්, එතුමා වනාහි අපේ වීරයා බව පහසුවෙන්ම සනාථ කර ගත හැකිය. උන් පහර ගසන්නේ එවැනි චරිත සඳහාය. ධර්මපාල ගමන සඳහා අඛණ්ඩ පැවැත්මක් සහතික නොකර ගන්නා තාක් සිංහල ජාතිය වනාහි ‘ගස් පනින සෙල්ලම් දිගටම කරන’ ළමෝ පිරිසක් වෙනවා ඇත. කාලයකට කාගේ හෝ පස්සේ දුවන්නාහ.
ඉන් පසු වැඩේ වරද්දා ගන්නාහ. ආයෙත් කවුරු හෝ මත්තේ ජාතිය තබා ඇදගෙන යන්නෝය. මේ සෙල්ලමේ රඟ කියන්නේ තවම පාස්කු දා ප්‍රහාරය සඳහා සමහරු ගහන ගේමට හරි හමන් ප්‍රතිචාරයක් දැක්වීමට අප සතුව ඇති නොහැකියාවය. ඒ නිසා මෙවර ධර්මපාල ජන්ම දිනය, ජාතියේ නව උපන් දිනය බවට පත් කර ගන්නා ලෙස මේ තීරුව යෝජනා කර සිටියි.