Home » ලක්දිව ජය වර්ධනය කළ ජේ.ආර්.

ලක්දිව ජය වර්ධනය කළ ජේ.ආර්.

by sachintha
September 18, 2023 2:23 am 0 comment

ජේ.ආර්. ජයවර්ධන යනු කියවා අවසන් කළ නොහැකි චරිතයකි. සියුම් ලෙස අධ්‍යයනය කළ යුතු සහ පර්යේෂණයට භාජන කළ යුතු චරිතයකි. බොහෝ ඇසූ පිරූ තැන් ඇතිව, අති විශාල දේශපාලන අත්දැකීම් රාශියක් ලද දේශපාලන නායකයකු වූ ජේ.ආර්. ජාතිවාදී, ආගම්වාදී, කුලවාදී, වර්ගවාදී කොටු පවුරු බිඳ දේශපාලනයේ යෙදුණු නායකයෙකි. ඔහුගේ දූරදර්ශී සැලසුම් හා දැක්ම 1977 වසරේ සිට 1988 දක්වා වසර 11ක් මෙරට තුළ ක්‍රියාත්මක කළේ ජනසෙත සුව පිණිසය. ඔහුට සිය යුග මෙහෙවර සාමකාමීව අවසන් කිරීමට ඉඩ නොදුන්නේ ත්‍රස්තවාදී දේශපාලනයක යෙදුණු මාස්ක්වාදී පිරිසකි.

ඔවුන් එහි ප්‍රතිඵල ඊළඟ වසර කිහිපය තුළ නෙළාගත්තේ තම ජීවිත, දේපළද විනාශ කර ගනිමිනි. ජේ.ආර්. මේ සියල්ල දකිමින් ජීවිතයේ සැඳෑ භාගය ගෙවා දැමුවේ ආගමානුකූල උපේක්ෂා සිතිනි. අවසාන කාලයේ ජේ.ආර්. ජයවර්ධනයන් සමඟ මාධ්‍ය සාකච්ඡාවක යෙදුණු පුවත්පත් කලාවේදියකු ඔහුගෙන් මෙසේ විමසීය. “දැන් ජීවිතයේ සැඳෑ භාගය ගෙවන ඔබතුමාගේ අවසාන අරමුණ කුමක්ද?” යැයි ප්‍රශ්න කළේ විශාල තොරතුරු ගොන්නක් පවසාවි යැයි සිතමිනි. එවිට ජේ.ආර්. ජයවර්ධන මහතා දුන් පිළිතුර වූයේ “මගේ පැතුම නිර්වාණයයි. දැන් එහෙනම් සාකච්ඡාව අවසන් කරමු” යැයි එතුමා සිය අසුනෙන් නැඟිට ගියේ මාධ්‍යවේදියාට තවත් ප්‍රශ්න ඇසීමට ඉඩ නොතබමිනි.

එනයින් දේශපාලනයෙන් පමණක් නොව සසර කතරෙන්ද විශ්‍රාම ගැනීමට සිතූ දේශපාලනඥයකු අප යුගයේ සිටියා නම් ජේ.ආර්. ජයවර්ධන පමණක් විය යුතුය.

ශ්‍රීමත් අනගාරික ධර්මපාල තුමන්ගේ ජන්ම දිනයත් ඊයේට (17) යෙදී තිබුණු හෙයින් මෙම දිනයේ වැදගත්කම ජාතික ආගමික හා දේශපාලනික වශයෙන් කොතරම් වැදගත්දැයි අපට සිතාගත නොහැකිය.

ජේ.ආර්. ජයවර්ධන ගැන කතා කරනවා යනු, සැබැවින්ම එක්සත් ජාතික පක්ෂය පිළිබඳ සාකච්ඡාවකි. එය, ජේ.ආර්. ජයවර්ධන මහතාගේ පියා වන ඊ.ඩබ්ලිව්. ජයවර්ධන මැතිතුමා මැදිහත්ව, එකල අමද්‍යප සභාව යන සිවිල් සංවිධානය, ලංකා ජාතික සංගමය යන දේශපාලන සංවිධානය බවට පත් කිරීම තෙක්ම ආපස්සට දිවයන්නකි.

ශ්‍රී ලංකාවේ අනෙකුත් දේශපාලන පක්ෂවලට වඩා එක්සත් ජාතික පක්ෂය විචිත්‍රවත් එකක් වන්නේ, එහි අන්තර්ගතය තුළ තිබූ ජාති, ආගම් භේද සියල්ල පසෙකින් තබා රට පමණක්, අරමුණු කරගත් නිසාවෙනි.

ජේ.ආර්. ජයවර්ධන මහතා ලියූ පොත් පත් අතර එක් පොත් පිංචක් වන්නේ “බුද්ධ ධර්මය හා මාක්ස්වාදය” යන්නයි. එම පොතේ මෙසේ සඳහන් වේ.

මේ උතුම් ආගම්වලින් අපට දෙන, වදාරන පාඩම් අමතක කර දමා ඒ වෙනුවට මාක්ස් මිථ්‍යාව තහවුරු කර ගැනීමට මාන බලන පුද්ගලයන් සමඟ රණ්ඩු සරුවල් කර ගැනීමට අපට වුවමනා නැත. මේ නිදහස් රටෙහි වෙසෙන නිදහස් ජනතාවට නිදහස් ලෙස සිතා මතා තමන්ට ගැළපෙන ආගමක් ඇදහීමට සම්පූර්ණ ලෙස නිදහස ඇත්තේය. එහෙත් අප විසින් සුපරීක්ෂාකාරීව තේරුම් කරගත යුතු කාරණයක්ද ඇත්තේය. එනම් මාක්ස්වාදය සියලුම උතුම් ශාස්තෘවරයන්ගේ ඉගැන්වීම්වලට විරුද්ධ බවත් කිසිම බෞද්ධයකුට කිසිම ක්‍රිස්තියානි බැතිමතකුට කිසිම හින්දු බැතිමතකුට කිසිම මුස්ලිම් බැතිමතකුට මාක්ස්වාදියකු නොවිය හැකි බවත්ය” යනුවෙනි.

ජේ.ආර්. ජයවර්ධන මහතාගේ මෙම සටහනේ වැදගත්කම එදාට වඩා අදට වැදගත්ය. අද පවතින මාක්ස්වාදී පක්ෂ හා නායකයන්ගේ කියමන් හා ක්‍රියාවන්ට එකතු වන මෙරට සුළුතරයක් තරුණ තරුණියන් හා පුද්ගලයන් තමන්ලා නිරාගාමිකයන් ලෙස පෙනී සිටිමින් සැඟවුණු මාක්ස්වාදීන් ලෙස කටයුතු කරන්නේ නන්නත්තාර වූ පිරිසක් ලෙසය. මේ විපත ජේ.ආර්. දුටුවේ මීට දශක තුනකටත් ඈතදීය. ජේ.ආර්.ගේ මෙම දැක්මට හේතුවූයේ තරුණ අවධියේ සිට බම්බලපිටියේ සිරි වජිරාරාමයෙන් සහ එහි සිටි උගත් ස්වාමීන් වහන්සේලාගෙන් ලද දහම් දැනුම සහ පොත පත පරිශීලනය කිරීමෙන් තමන් ලබාගත් ධර්ම ඥානය නිසාය.

අදට අවුරුදු 117කට පෙර 1906 සැප්තැම්බර් මස 17 වැනි දින උපත ලද ජේ.ආර්. ජයවර්ධන මහතාට හිමිවූ නම වූයේ ජූනියස් රිචඩ් ජයවර්ධන යන නාමයයි. ඔහුට ජූනියස් යන නම යෙදුණේ පියාගේ සොහොයුරකු වූ අකාලයේ මියගිය ජූනියස් ක්වින්ටස් ජයවර්ධන මහතා සිහිවීමට ඔහුගේ නමේ මුල් හැඳින්වීම වූ “ජූනියස්” යන්න යොදා ගැනීමෙනි. ඊළඟට රිචඩ් යන නම යෙදුණේ ජේ.ආර්. ජයවර්ධනයන්ගේ සොහොයුරු වූ ලේක් හවුස් ආයතනයේ නිර්මාතෘ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මෑණියන්ගේ පියාණන් වූ ඩී.ආර්. විජේවර්ධන හෙවත් දොන් රිචඩ් යන හැඳින්වීම එකතු කර ගැනීමෙනි.

කොළඹ රාජකීය විද්‍යාලයෙන් ඉගෙනුම ලබා එම පාසලෙන්ම අධ්‍යාපනය නිමා කළ ජේ.ආර්. ජයවර්ධන මහතාට විදේශ අධ්‍යාපනය ලැබීම සඳහා ලෝකයේ ඕනෑම සරසවියකට ඇතුළත් වීමට වත්කම තිබුණද කොළඹ යුනිවර්සිටි කොලීජියට ඇතුළත් විය. ජේ.ආර්. නීතිය හදාරා නීතිවේදියකු වශයෙන් සමාජ කරළියට පැමිණියේ විප්ලවවාදී තරුණයකු ලෙසය.

ලංකාවේ නිදහස් සටන උග්‍රව තිබූ අවධියේ ජේ.ආර්.ගේ තරුණ විය ගෙවී යමින් තිබුණි. ඔහු එකල සිටි ලංකාවේ කම්කරු නායකයා වූ ඒ.ඊ. ගුණසිංහ මහතාගේ කම්කරු සටන්වලට නොමඳව සහාය දුන්නේ ධනපති නිවාසයක වෙසෙන තරුණයකු ලෙසය. මේ යුගයේ ජාතික නායකයන් ආරම්භ කළ ලංකා ජාතික සංගමයේ සාමාජිකත්වය ලබාගත් ජයවර්ධන මහතා විටෙක ඩඩ්ලි සේනානායක මහතා සමඟ එකවර එම සංගමයේ සම ලේකම් පදවිය දැරීය.

ජාතික සංගමයේ නායකයන් එකල අප රට තුළ තිබූ විවිධ දේශපාලන සංවිධාන එකතු වී 1946 සැප්තැම්බර් 06 වැනි දින එක්සත් ජාතික පක්ෂය පිහිටුවා ගන්නා විට එහි සම භාණ්ඩාගාරික පදවියට පත් වූ ජේ.ආර්. ඒ වන විටත් කැලණිය කොට්ඨාසයේ රාජ්‍ය මන්ත්‍රීවරයා වශයෙන් වැඩ කටයුතු ආරම්භ කර තිබිණි.

එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක පිහිටුවා ගත් සිංහල මහ සභාවත් ද්‍රවිඩ සංගමය සහ මුස්ලිම් පෙරමුණත් යෝනක සංගමය සහ මැලේ ජාතික සංගමය පමණක් නොව, යුරෝපීය සංගමය ද එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන කණ්ඩායම් අතර වීම, ලංකාවේ සංහිඳියාව වෙනුවෙන් ඇති කරගත් එකම පක්ෂය බවට එක්සත් ජාතික පක්ෂය පත්වීම, සනිටුහන් කරන්නක් විය.

1947 මහ මැතිවරණයෙන් මහජන මන්ත්‍රී මණ්ඩලයේ වැඩි ආසන ගණනක් ජයග්‍රහණය කළ එක්සත් ජාතික පක්ෂයේ නායක ඩී.එස්. සේනානායක අග්‍රාමාත්‍ය වශයෙන් නම් කරද්දී, එහි මුදල් අමාත්‍ය ධුරය හිමි වන්නේ, ජේ.ආර්. ජයවර්ධනට වීම ශ්‍රී ලාංකීය ඉතිහාසයේ එක් තීරණාත්මක තීන්දුවක් බවට පත් විය. ගල්ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ඇරඹීමට මුදල් ඇමැතිවරයා වශයෙන් අවශ්‍ය මුදල් වෙන් කළේ ද ජේ.ආර්. ජයවර්ධන මහතා විසිනි.

බ්‍රිතාන්‍ය පාලන ක්‍රමය තුළ පැවති අධ්‍යාපනය තුළින් බොහෝ විට ලිපිකරුවන් සහ ගුරුවරුන්ට පමණක් සීමා වී තිබුණු පොදු අධ්‍යාපන මට්ටම සහ ඊට ඉහළට ඉගෙන ගැනීමේ අවස්ථාව වරප්‍රසාද ලත් පන්තියට පමණක් වූ සීමාව වෙනස් කරමින් ශ්‍රී ලංකාවේ අධ්‍යාපන විප්ලවයක් ඇති කිරීමේ ගෞරවය එක්සත් ජාතික පක්ෂයට හිමි විය යුතුමය. සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගරයන්ට එහි ආචාරය හිමි විය යුතු වුවද එහි මූලික අඩිතාලම නිර්මාණය කළ ජේ.ආර්. ජයවර්ධනගේ දූරදර්ශී දැක්ම බොහෝවිට තිරයෙන් පිටුපස වැසීගොස් තිබේ. එදා ජේ.ආර්. බිහි කළ ‘කොළඹ ක්‍රමය’ සැලැස්ම නොවන්නට, නූතන තාක්ෂණික හා විද්‍යාත්මක ලෝකයේ ඉදිරි ගමනට අවශ්‍ය බුද්ධිය හා සුදුසුකම් ලත් විශේෂඥයන් ශ්‍රී ලංකාව තුළින් සොයාගත හැකි තත්ත්වයක් උදා නොවන්නට ඉඩ තිබිණි.එදා විදේශීය විශේෂඥයන්ගෙන් පිරිමසා ගත් තාක්ෂණික හා නවීන විද්‍යාත්මක වපසරිය ලාංකිකයන්ගෙන් පිරවීමට හැකි වන්නේ, ජේ.ආර්.ගේ එම දූරදර්ශී වැඩපිළිවෙළට ස්තුතිවන්ත වන්නටෙය.

ඩඩ්ලි සේනානායක මහතාගේ අභාවයෙන් පසු එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සියතට ගත් ජේ.ආර්. එක්සත් ජාතික පක්ෂය විනයවාදී පක්ෂයක් ඇති කළේ නායකත්වයට අභියෝග කළ පක්ෂයේ දෙවන පෙළ නියෝජනය කළ නායකයන්ට පළමුවෙන් උපදෙස් දී, එයත් නොතැකූ විට පක්ෂයෙන් එළියට ඇද දමමිනි.

මන්ත්‍රීවරු 17කගේ බලය තිබූ එක්සත් ජාතික පක්ෂයට 1976 වන විට පාර්ලිමේන්තුව තුළ මන්ත්‍රීවරු 23 දෙනකුගේ බලයක් හිමිවී තිබිණි. 1977 මහ මැතිවරණය වන විට රටේ නිල නොලත් අගමැතිවරයා බවට ජේ.ආර්. ජයවර්ධන මහතා පත්ව තිබිණි. ජේ.ආර්. යන එන සියලු තැනට ජනතාව සිය දහස් ගණනින් එකතු විය. මේ නිසා 1977 ජූලි 01 වැනි දින පැවති මහ මැතිවරණයට තනි පක්ෂයක් ලෙස තරග වැදුන එක්සත් ජාතික පක්ෂය මැති සබයේ 5/6ක බලයක් හිමිකර ගනිමින් එදා මෙදා තුර මැති සබය තුළ තැබූ දේශපාලන වාර්තාව, දශක ගණනාවක් ගියද වෙනස් කිරීමට සමතෙක් මේ වනතෙක් ජන්මය ලබා නැත.

ජේ.ආර්. ජයවර්ධන අගමැති පදවියට පත්වූ පසුව නව ආණ්ඩු ක්‍රමයක් තුළින් විධායක ජනාධිපති පදවිය ලබා, මුළු රටම සංවර්ධන යුගයකට යොමු කළේ එතුමා තුළ අතීතයේ සිට තිබුණු මානවවාදී සංකල්ප ක්‍රියාවට නංවමිනි.

කැල්කියුලේටරයේ සිට කම්පියුටරය දක්වා ලංකාවට හඳුන්වා දුන් ජේ.ආර්. ජයවර්ධන මහතා ලංකාවේ අගනුවර, පාර්ලිමේන්තුව ආදි සියල්ල වෙනස් කළේ නව මඟක් ගත් නායකයකු ලෙසිනි. නිදහස් වෙළෙඳ කලාප, මහ කොළඹ ආර්ථික කොමිසම, විවෘත ආර්ථිකය, කඩිනම් මහවැලි සංවර්ධන යෝජනා ක්‍රමය, පාසල් දරුවන්ට නිල ඇඳුම් ලබාදීම, වප් මඟුල් උත්සවය, රාජ්‍ය සාහිත්‍ය උලෙළ, සංචාරක ව්‍යාපාරය දියුණු කිරීම, සංස්කෘතික ත්‍රිකෝණය ඇරඹීම, ප්‍රජා ගුවන් විදුලි සේවා ඇරඹීම, රූපවාහිනිය හඳුන්වා දීම ජයවර්ධන ජනාධිපතිතුමාගේ දැක්මට අනුව සිදුවූ ජාතික මෙහෙවරයන්ය.

මේ වන විට ජයවර්ධන මහතා දිවංගත වී වසර 27කි. එතුමා උපත ලබා වසර 117කි. අප රටේ නායකයන් කිහිපදෙනකුගේ උපන් දිනයත්, විපත්පත් දිනයත් සැමරීම සිදු කරනු ලබයි. ඒ අය අතරින් ජේ.ආර්. ජයවර්ධන මහතා සුවිශේෂී පුද්ගලයෙකි. එබැවින් ජේ.ආර්. ජයවර්ධන මහතාගේ ජන්ම දිනය සැමරීම තවත් වසර සිය ගණනක් සිදුවනු ඇත යන්න මාගේ විශ්වාසයයි.

එසේම එක්සත් ජාතික පක්ෂය පැත්තෙන්, 56 වැනි සම්මේලනය සමරන මොහොතේ, ජේ.ආර්. ගේ නායකත්වයේ පහස ලද, බොහෝ දේශපාලන හැලහැප්පීම් තුළ මනා පරිචයක් ඇති රනිල් වික්‍රමසිංහ වැන්නකු රටේත් පක්ෂයේත් දේශපාලන අනාගතය නැවත පිරික්සා බලන මොහොතක් ලෙස හඳුනාගත යුතුව තිබේ.

වැටුණු පක්ෂය ජේ.ආර්. ජයවර්ධනයන්ගේ තීක්ෂණ ඥානය සමඟ යළි හැත්තෑ හතේ දී පණ ගසා ආ පරිද්දෙන්ම, රනිල් වික්‍රමසිංහ ද අවශ්‍ය ප්‍රතිසංස්කරණ සමඟ පක්ෂය, රටේ අවශ්‍යතාව වෙනුවෙන් ප්‍රතිසංවිධානය කරනු ඇත. වර්තමානයේ සමස්ත රටේ පුරවැසියන්ගේ අපේක්ෂාව වන්නේ, ජේ.ආර්. ජයවර්ධන සිදු කළාක් මෙන් ප්‍රතිසංස්කරණවාදී ආණ්ඩු ක්‍රමයක් මේ රට තුළ ස්ථාපිත කිරීමයි. රටේ ආර්ථික පරිහානිය සුමට කරගත හැකි වන්නේ, 1946 එක්සත් ජාතික පක්ෂය බිහිවන මොහොතේ ඇති කරගත් සංහිඳියාත්මක පොදු දේශපාලන ව්‍යාපාරයකින් බව ජනතාව තේරුම්ගෙන සිටීම ඊට හේතුවයි.

ජේ.ආර්. ජයවර්ධන සිදුකළ සංවර්ධන ව්‍යාපෘතීන්, කොළයක් පිරෙන තරමට ලැයිස්තුගත කළ හැකිය. ඒ බොහෝ දෙනා ජේ.ආර්. ගැන හඳුනා ගන්නා විදිහය. ජේ.ආර්. ගේ තීක්ෂණ ඥානය වරෙක වර නැඟෙන්නේ, ඔහුගේ සටකපටකම් ලෙසය. වාමවාදීන්ට ජේ.ආර්. අඳුකොළය. එහෙත් මේ ලියමන හකුළුවන්නට පෙර දෙයක් සඳහන් කළ යුතුය.

ඔහු හැදූ ව්‍යවස්ථාව වෙනස් කිරීමට පැමිණි කිසිවකුටත් එය වෙනස් කිරීමට තවමත් නොහැකි විය. ඔහුගේ බුද්ධියට ඊට එහා උදාහරණ අවශ්‍ය නොවේ.

වජිර අබේවර්ධන එක්සත් ජාතික පක්ෂ

සභාපති, හිටපු අමාත්‍ය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී

ප්‍රථම විධායක ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතාගේ 117 වැනි ජන්ම දින සැමරුම නිමිත්තෙනි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT

Valibal Valibal
x