පූජ්‍ය බානගල උපතිස්ස නාහිමි, අගමැති ඇතුළු සම්භාවනීය අමුත්තන් දම්පල් සමරුවට එක්ව සිටි අයුරු.
අනගාරික ධර්මපාල තුමා බුදු දහමේ අර්ථය ලෝකයට රැගෙන ගිය බව අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය. මරදාන මහබෝධි අග්‍රශ්‍රාවක මහා විහාරයේදී පැවති අනගාරික ධර්මපාලතුමාගේ 159 වැනි ජන්ම දින සැමරුම් උත්සවයේදී ඊයේ (17) අගමැතිවරයා මේ බව ප්‍රකාශ කළේය.
අනගාරික ධර්මපාලතුමාගේ ගිහි ප්‍රතිමා මිස පිරිස පැවිදි ප්‍රතිමාවක් මෙරට මෙතෙක් නොතිබුණු අතර, පැවිදි ප්‍රතිමාවක් සඳහා මුල්ගල් තැබීමද මෙහිදී සිදු විය. එහිදී අදහස් දැක්වූ අගමැතිවරයා මෙසේද කීවේය:
“අනගාරික ධර්මපාල තුමා ඉතා ඉහළ මනුෂ්‍යත්වයක් ලොවට දායාද කළ ලංකා පුත්‍රයෙක්. මෙවැනි අසීරු ගමනක යෙදෙන්න එතුමාට හැකි වුණේ එතුමා කෙරෙහි වූ මනුෂ්‍යත්වයේ ගුණාංග හා බුදුදහමේ ආලෝකය නිසයි. ඒ නිසා බුදු රජාණන් වහන්සේගේ ධර්මය ලෝකයට දායාද කරන්න එතුමාට හැකි වුණා. සිද්ධාර්ථ කුමාරයා ඉපදුණ, බුද්ධත්වයට පැමිණි, ධර්ම දේශනා පැවැත්වූ ස්ථාන යළි ලෝකවාසීන්ට දායාද කරන්න පුළුවන් වන්නේ අනගාරික ධර්මපාල තුමාගේ මැදිහත් වීම සහ කටයුතු කිරීම නිසායි. එසේ නොවන්නට එම ස්ථාන පිළිබඳ අදත් සාකච්ඡා කරමින් තිබෙන්නට පුළුවන්. ඉන්දීය රාජ්‍ය නායකයන් අනගාරික ධර්මපාල තුමාගේ කැප වීමට දැක්වූ සහයෝගය මේ අවස්ථාවේ ශ්‍රී ලංකා රජය වෙනුවෙන් සිහිපත් කරන්න කැමැතියි. අනගාරික ධර්මපාල තුමා බුදු දහමේ අර්ථය ලෝකයට ගෙන ගියා. පසුගිය ශත වර්ෂයේත් ඊට පෙරත් පැවති ලෝක දර්ශනවාදයන් හා ආගම් පිළිබඳ අදහස බොහොම සරල බසින් අර්ථාන්විත බසින් ඉදිරිපත් කිරීම නිසා අනගාරික ධර්මපාල තුමා ලොවට බුදු දහම පණිවිඩය ගෙන යෑමේදී සුවිශේෂ අවස්ථාවක් උදා කර දුන්නා. ඒ පිළිබඳව විවිධ රටවල සවන් දුන් හා ලිඛිතව කියවූ අය ශ්‍රී ලංකාව සහ ඉන්දියාවට පැමිණෙන්න පටන් ගත්තා.
“ලෝක විශ්වවිද්‍යාල බුදුදහම පිළිබඳ පර්යේෂණ කරන්නට ආරම්භයක් ගෙන ශතවර්ෂයක් පසුවට අප ජීවත් ජීවත් වන්නේ අනගාරික ධර්මපාල තුමාගේ 159 වැනි ජන්ම දින සැමරුම අවස්ථාවේදීයි. බානගල උපතිස්ස නායක ස්වාමීන් වහන්සේ මේ ස්ථාන යළි පණගැන්වීමට කටයුතු කළා. ඒ නිසා ජාත්‍යන්තර සම්බන්ධතා යළි ගොඩනඟන්නට, නායකත්වය දෙන්නට බානගල උපතිස්ස නායක ස්වාමීන් වහන්සේ ඉටු කළ මෙහෙය මහා බෝධියට පමණක් නොව, ලෝක බෞද්ධ අනුගාමිකයන්ට මහත් වූ පණිවිඩයක් බවට පත් වුණා.
“ලෝකය වෙනස් වෙමින් පවතිනවා. ඒ වගේම ලෝකවාසීන් අලුත් ජීවන මඟක් සොයමින් සිටිනවා. බුදු රජාණන් වහන්සේ අපට තැන්පත් කළ දෑ සෑම රටකම අද සාකච්ඡා වෙනවා. මධ්‍යම ප්‍රතිපදාවේ උතුම් ගුණාංගයන්ගෙන් ජන ජීවිතය, සමාජය සකස් කරගැනීම පිළිබඳ කතා කෙරෙන මේ කාලයේ ලෝක ධර්මදූත සේවයෙන් ඉටු කෙරෙන මෙහෙය අතිවිශාලයි.”
එහිදී අනුශාසනාවක් කළ මහාබෝධි සංගමයේ සභාපති, ජපානයේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය බානගල උපතිස්ස නාහිමි:
“සිංහල බෞද්ධයකු හැටියට කළගුණ සැලකීම කියන දේ අනගාරික ධර්මපාල තුමා හොඳින්ම පිළිපැද්දා. අනගාරික ධර්මපාලතුමාගේ වැඩකටයුතු ඉදිරියට ගෙන යමින් අවුරුදු 24ක් මහාබෝධි සංගමයේ සභාපති හැටියට මම ඉටු කළා. දිනේෂ් ගුණවර්ධන අගමැතිවරයා, එදා නාගරික සංවර්ධන ඇමැතිවරයා වශයෙන් ඉන්න කොට විශාල වැඩ කොටසක් මහාබෝධි සංගමය වෙනුවෙන් ඉටු කළා. සාංචියේ ගොඩනැඟිලි ඉදි කළා; සාංචිය දියුණු කළා. අදටත් එතුමාගේ පින්තූරයක් සාංචි විහාරයේ තැන්පත් කර තිබෙනවා. ඒ නිසා සාංචියේ ඔබ අමරණීයයි.”
බෝදාගම චන්දිම, අම්බුලුගල සුමංගල හිමිවරුන් ඇතුළු මහා සංඝරත්නය, පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණී ගුණවර්ධන, වැඩබලන ඉන්දීය මහ කොමසාරිස් සත්‍යාංජල් පාණ්ඩේ, මහාබෝධි සමාගමේ ලේකම් අධිනීතිඥ දිල්ශාන් ජයසූරිය, ඉන්දීය සහ ජපාන නියෝජිතයන්, බැතිමතුන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට සහභාගි වූහ.
ඡායාරූප – සුලෝචන ගමගේ
ස්වර්ණා විජේකෝන්