පුහුණුවකට සහභාගි වූ ඉතාලියට අයත් හමුදා ජෙට් යානයක් ටියුරින් පළාතේදී කඩා වැටීමෙන් මාර්ගයේ ධාවනය වෙමින් තිබූ මෝටර් රථයක් තුළ සිටි පස් හැවිරිදි දැරියක් ජීවිතක්ෂයට පත් වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
එම ජෙට් යානය ගිනි ජාලාවක් බවට පරිවර්තනය වීමට පෙර එහි සිටි ගුවන් නියමුවා පැරෂූටයක ආධාරයෙන් ඉන් පිටතට පැන දිවි බේරා ගැනීමට සමත් වූවද, මෝටර් රථය ජෙට් යානයේ ගින්නට මැදි වූ බව වාර්තා වේ.
ඒ මොහොතේ මෝටර් රථයේ සිටි දැරියගේ මාපියන් සුළු තුවාල ලබා ඇති අතර, ඇගේ නව හැවිරිදි සොහොයුරා බරපතළ පිලිස්සුම් තුවාල ලබා රෝහල්ගත කර ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.
අනතුරට ලක් වීමට පෙර එම ජෙට් යානය කුරුල්ලන් රංචුවක් සමඟ ගැටෙන අයුරු දැක්වෙන වීඩියෝවක් ද නිකුත් වී ඇති අතර, ජෙට් යානයේ එන්ජිමට කුරුල්ලකු සිර වීමෙන් එය ක්‍රියා විරහිත වීම අනතුරට හේතුව වන්නට ඇතැයි මූලික පරීක්ෂණයේදී අනාවරණය වී තිබේ.