Home » විශ්‍රාමිකයන්ගේ බැංකු ගිණුම්වලින් සල්ලි අදින කල්ලියක්

විශ්‍රාමිකයන්ගේ බැංකු ගිණුම්වලින් සල්ලි අදින කල්ලියක්

by sachintha
September 18, 2023 7:54 am 0 comment

විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවෙන් කතා කරන බව අඟවමින් විශ්‍රාමිකයන්ට දුරකතන ඇමතුම් දී බැංකු ගිණුම්වල තොරතුරු ලබාගෙන මුදල් වංචා කිරීමේ සංවිධානාත්මක අපරාධයක් ක්‍රියාත්මක කරන කල්ලියක් පිළිබඳව රට පුරා විවිධ ප්‍රදේශවලින් තොරතුරු වාර්තා වී තිබේ.

විශ්‍රාමිකයන්ගේ තොරතුරු යාවත්කාලීන කිරීමත්, විශ්‍රාමිකයන් වෙනුවෙන් ලොතරැයි ක්‍රමයක් මඟින් ත්‍යාග ලබාදීමත් වෙනුවෙන් බව පවසා ඔවුන් විශ්‍රාමිකයන්ගේ තොරතුරු ලබා ගෙන ඇතැයි වාර්තා වේ.

මෙම කල්ලිය මඟින් විශ්‍රාමිකයන්ට දුරකතන අංක ඇමතුම් දී විශ්‍රාම දෙපාර්තමේන්තුවෙන් කතා කරන බව පවසා යාවත්කාලීන කිරීමත්, ලොතරැයි දිනුමත් ගැන කියා ඔවුන්ගේ බැංකු ගිණුම් තොරතුරු, ජාතික හැඳුනුම්පත්වල හා බැංකු පොත්වල ඡායාරූප වට්ස්ඇප් සමාජ මාධ්‍ය ඔස්සේ ගෙන්වා ගෙන එම බැංකු ගිණුම්වල ඇති මුදල් ලබා ගෙන තිබේ.

මේ වන විටත් රඹුක්කන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ විශ්‍රාම වැටුප්ලාභීන් වෙතද ඒ අන්දමින් ඇමතුම් ලැබී ඇතිි බවද වාර්තා විය.
මේ සම්බන්ධයෙන් විශ්‍රාම වැටුප්ලාභීන් පදිංචිව සිටින වසම්වල ග්‍රාම නිලධාරීන්ට හැර වෙනත් කිසිදු තැනැත්තෙකුට විශ්‍රාම වැටුප්ලාභීන්ගේ විස්තර ලබා නොදෙන ලෙසත් මේ දිනවල එලෙස තොරතුරු යාවත්කාලීන කිරීමට තොරතුරු ලබා නොගන්නා බවත් වසම් භාර ග්‍රාම නිලධාරින් විසින් විශ්‍රාමිකයන්ට දැනුම් දී තිබේ. ඒ සම්බන්ධයෙන් දැඩි අවධානයකින් පසුවන ලෙසද විශ්‍රාම වැටුප්ලාභීන් දැනුම්වත් කර ඇති බවද වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් විවිධ ප්‍රදේශයන්හි පොලිස් ස්ථාන කිහිපයකින් විමසීමේදී ඒවායේ උසස් නිලධාරිහු පැවසූයේ විශ්‍රාම වැටුප්ලාභීන් එවැනි වංචාවකට අසු වූ බවට කිසිදු පැමිණිල්ලක් ලැබී නොමැති බවය.
රක්වාන-ඉන්දික සී. කුමාර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT

Valibal Valibal
x