සමහරු පොලිසියට කෙතරම් බැණ වැදුනද අවසානයේ තමාට යම් අසාධාරණයක් සිදු වූ විට තමාගෙ පිහිටට සිටින්නේ ද ශ්‍රී ලංකා පොලිසිය පමණක් යැයි මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් මහතා පැවසීය.
පොල්පිතිගම පොලිස් ස්ථානයේ නව ගොඩනැඟිල්ල විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඒ මහතා මේ බව කීවේය.
මෙහිදී මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා වෙත උත්තමාචාර පිළිගැන්වීම සිදු වූ අතර සර්වාගමික වතාවත්වලට මුල්තැන දෙමින් නව ගොඩනැඟිල්ලෙහි සමරු ඵලකය නිරාවරණය කෙරිණි.
ඉන් අනතුරුව නව ගොඩනැඟිල්ලෙහි නිරීක්ෂණ චාරිකාවක නිරත වූ මහජන ආරක්ෂක අමාත්‍යවරයා, ඒ හා සමගාමීව පොල්පිතිගම පොලිස් ස්ථානය මඟින් සංවිධානය කර තිබූ රුක් රෝපණ වැඩසටහනකට එක් විය.
එහිදී ඒ මහතා මෙසේ ද කීවේය.
වසර ගණනාවක් අවශ්‍යතාවක්ව තිබූ නව ගොඩනැඟිල්ල නිම කොට ලබා දීමට හැකි වීම ගැන සතුටු වෙනවා. පසුගිය වසරේ මැයි මාසයේ අමාත්‍යාංශයේ වගකීම භාර ගන්නා විට රට ව්‍යාකූල තත්ත්වයක පැවතියා. පොලිස් නිලධාරීන්ගේ ගෞරවය හා අභිමානය පිරිහී තිබුණා. පසුගිය අවුරුද්ද පුරාවටම කළ කී දෑ නිසා අද පොලිස් නිලධාරීන්ගේ ගෞරවය සහ අභිමානය නැවත ඉහළ නංවා තැබීමට හැකි වුණා.
පොලිස් නිලධාරීන්ගේ බටා දීමනාව ලබා දීම, ශ්‍රී ලංකා පොලිසියට නව ජීප් රථ 500ක් ලබා දීම වැනි කරුණු නිසා පොලිස් නිලධාරීන්ගේ සුබසාධනය ඉහළ නැංවීමට හැකි වුණා. එයට ප්‍රති උපකාරයක් ලෙස සියලු පොලිස් නිලධාරීන්ගෙන් පොලිස් සේවයට අවංක සහ ගුණාත්මක සේවයක් තමන් අපේක්ෂා කරනවා. මත්ද්‍රව්‍ය සහ සංවිධානාත්මක අපරාධ මැඬලීම සඳහා ක්‍රියාත්මක වීම අපේක්ෂා කරනවා. සමහරුන් පොලිසියට කෙතරම් බැණ වැදුනද අවසානයේ තමාට යම් අසාධරණයක් සිදු වූ විට තමාගෙ පිහිටට සිටින්නේ ද ශ්‍රී ලංකා පොලිසිය පමණයි.
මෙවර උසස් පෙළ විභාගයේ වාණිජ්‍ය අංශයේ කුරුණෑගල දිස්ත්‍රික් ප්‍රථමයා මෙන්ම දිවයිනේම 12 වැනි ස්ථානය හිමි කරගත්, පොලිස් නිලධාරියකුගේ දියණියක වන කුරුණෑගල ශුද්ධ වූ පවුලේ බාලිකා මහා විද්‍යාලයේ එම්. සාවින්දි පූර්ණිමා ජයවර්ධන දියණියට අමාත්‍ය ටිරාන් අලස් මහතා විසින් විශේෂ ඇගැයීමේ ත්‍යාගයක් පිරිනැමීම ද මෙම අවස්ථාවේ සිදු කෙරිණි.
මෙම අවස්ථාවට මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වියානි ගුණතිලක, බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, වයඹ පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් යන මහත්ම මහත්මීන් ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීහු සහභාගි වූහ.
පොල්පිතිගම – නන්දන කැලේගම