Saturday, May 10, 2025
Home » හිසට සෙවණක් ඉල්ලන මනම්පිටියේ මංගලිකා

හිසට සෙවණක් ඉල්ලන මනම්පිටියේ මංගලිකා

by sachintha
September 18, 2023 2:14 am 0 comment

“අනේ මහත්තයෝ, අපේ ටකරං ගෙදර අලියා කැඩුවට පස්සෙ දැන් අපි ඉන්නේ පිට ගෙදරක. මම ආබාධිතයි. කාමරයක් හදා ගන්න බ්ලොග් ගල් පන්සියයක් ගෙනාවා. ඒ ටික විකුණලා තමයි පුතා ඉස්කෝලේ යවන්න පොත්පත් ගත්තේ. දැන් පුතාව ඉස්කෝලෙ යවන්න විදිහක් නෑ. අඩුපාඩු ගොඩයි. අපි ඉන්න මේ ගෙදර අය රට ඉඳලා හෙට අනිද්දා එනවා. එතකොට ඒ අයට ගෙදර දෙන්න වෙනවා. අපට එතකොට යන එන මං නෑ. හරියට අපට කෑමක් බීමක් නෑ. රජයෙන් ලැබුණේ සමෘද්ධිය විතරයි. අනේ පින්සිද්ධ වෙයි මහත්තයෝ, පුළුවන් නම් මම අත්තිවාරම දාපු කාමරයවත් හදලා දෙන්න. අපට මේ ගෙදර දාලා යන්න වුණොත් ආබාධිත මමත්, මගේ අම්මත්, මහත්තයත්, දරුවොත්, මගේ මල්ලිත් මහමඟට වැටෙනවා. මගේ පුතාට ඉස්කෝලෙ යන්නත්, මේ කාමර කෑල්ල හදාගන්නත් මට පුළුවන් විදිහට උදවු කරන්න.” යැයි දිඹුලාගල, මනම්පිටිය, සර්වෝද ගම්මානයේ පදිංචි ආබාධිත තිදරු මවක වන පී. ඒ. නිශාන්ති මංගලිකා මහත්මිය හැඬූ කඳුළින් පැවැසුවාය.

වේලක් හැර වේලකින් කුස ගින්න නිවා ගන්නා මේ අසරණ දරු පවුල මනම්පිටිය, සර්වෝද ගම්මානයේ, අලිවැට අද්දර ජීවත් වෙන්නේ බොහෝ දුක් කම්කටොලු මධ්‍යයේය.

නිශාන්ති මංගලිකාගේ මව වන ඩී. කේ. සුමනා දිසානායක මහත්මිය දෑස් පෙනීමේ දුර්වලතාවෙන් පෙළෙන අතර, ඇයගේ සියලු බර පැටවී ඇත්තේ ද මංගලිකා මතය. මංගලිකාගේ පියා ද මීට වසර 5කට පෙර මියගොස් ඇත.

මනම්පිටිය මහවැලි ගඟේ ඉඳහිට කුලියට වැලිගොඩ දමමින් තම දරු පවුල නඩත්තු කරන මංගලිකාගේ ස්වාමියා ද රෝගී අයෙකි. මංගලිකාගේ දියණියක් නව නගරය ළමා නිවාසයේ සිටින අතර, ඇය නවය වසරේ ඉගෙනුම ලබයි. තවත් දියණියක් මඩකලපුව ප්‍රදේශයේ ජීවත් වේ.

ස්ථිර නිවෙසක් නොමැති නිසා මේ දරු පවුලට උරුමවී ඇත්තේ තැන් තැන්වල ජීවත් වීමටයි.

මංගලිකා පවුලේ දුක්බර කතාව ඇය මෙලෙස පැවැසුවාය.

“අනේ මහත්තයෝ, මගේ අම්මගේ ඇස් පෙනීම අඩුයි. ඒකට ඇස් කණ්ණාඩි දෙකක් ගන්න සල්ලි නෑ, මම කුලී වැඩ කරලා කාමරයක් හදා ගන්න කියලා අත්තිවාරමක් දැම්මා. ඒකට ගඩොල් පන්සියකුත් ගෙනාවා.ඒත් කාමරය හදා ගන්න බැරි වුණා. පුතා එක වසරට ඇතුළත් කරන්න ගොඩක් සල්ලි වුවමනා නිසා මම ඒ ගඩොල් 500 විකුණලා පුතාට අඩුපාඩු ගත්තා. මේ නැතිබැරිකම් නිසාම එක දුවක් නව නගරයේ ළමා නිවාසයට දැම්මා. අනිත් දුව බැඳලා මඩකලපුවේ ඉන්නවා. මේ පුතාට උගන්නන්න විදිහක් නැතුව අපි මෙහෙ ජීවත් වෙනවා. මහත්තයා කුලියට වැලිගොඩ දාන්න ගියාට හරියට ඒ රස්සාව කර ගන්න බෑ, එයාටත් නිතර නිතර ලෙඩ. දැන් අපි ඉන්න ගෙදර අය රට ගිහිල්ලා එනවා. ඒ ආපු ගමන් මේ ගෙදර එයාලා ඉල්ලුවා. එතකොට අපට යන්න එන්න තැනක් නෑ. අපි යාන්තම් අටවා ගත්ත ගෙදරත් අලි කඩලා. අපට පුළුවන් නං ගඩොල් පන්සීයකින් එක කාමරයක් හරි හදලා දෙන්න. ඒක මැරෙනකල් ජීවත් වෙන්න හොඳටම ඇති. දවසකට වේලක් පමණක් කාලා තමයි අපි ජීවිතය ගෙවන්නේ. අවට අයත් අපට කන්න බොන්න දීලා උදවු කරනවා. මගේ පුතා ඉස්කෝලෙ යවාගෙන උගන්න ගන්නත් උදව්වක් කරන්න.”

මේ අසරණ පවුලේ දරුවාගේ පාසල් අධ්‍යාපනය ගමන සාර්ථක කර ගැනීමටත්, නිවෙසක සිහිනය සැබෑ කරගැනීමටත් ඔබට සරණක් වීමට හැකි නම් ඔවුන්ගේ ලිපිනය වන පී. ඒ. නිශාන්ති මංගලිකා, සර්වෝදය පාර, මනම්පිටිය ලිපිනයෙන් හෝ ගිණුම් අංක 253200170066515 මහජන බැංකුව, අරලගංවිල ගිණුමට මුදල් බැර කිරීමෙන් හෝ දුරකතන අංක 074-0651309 විමසීමෙන් හෝ වැඩිදුර තොරතුරු ලබා ගත හැකිය.

සිරිපුර – මදුශානි අබේසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT