Home » රත්මලාන ඥානේන්ද්‍රාරාම පාරේ නිවෙසකට වෙඩි තැබීම පිස්තෝලයක්-උණ්ඩ-භාණ්ඩ සමඟ දෙදෙනෙක් කොටු වෙති

රත්මලාන ඥානේන්ද්‍රාරාම පාරේ නිවෙසකට වෙඩි තැබීම පිස්තෝලයක්-උණ්ඩ-භාණ්ඩ සමඟ දෙදෙනෙක් කොටු වෙති

by sachintha
September 18, 2023 2:16 am 0 comment

සැකකරුවෙක් මානව හිමිකම් සංවිධානයක කොළඹ දිස්ත්‍රික් විමර්ශන නිලධාරියෙක්

අනෙක් සැකකරු ශ්‍රී ලංකා යුද හමුදාවේ යාන්ත්‍රික පාබළ රෙජිමේන්තුවට අනුයුක්තව ඉඳලා

ප්‍රබල සංවිධානාත්මක අපරාධ කල්ලි නායක ප්‍රියන්තගේ උපදෙස් මත පසුගියදා රත්මලාන ඥානේන්ද්‍රාරාම පාරේ නිවෙසකට වෙඩි තැබීමේ සිදුවීමට අදාළ පිස්තෝල අවිය, උණ්ඩ, භාණ්ඩ රැසක් සමඟ පුද්ගලයන් දෙදෙනකු පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් පිරිසක් විසින් මීගොඩ, ඕවිටිගල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් පිරිසකට ලද තොරතුරක් මත පසුගිය 14 වැනි දින මීගොඩ පොලිස් වසමේ ඕවිටිගල, මීගොඩදී වැටලීමක් සිදු කර ඇත.

පසුගිය 10 වැනි දින රත්මලාන අංජුගේ සමීපතමයකු වන විමුක්ති නුවන් සම්පත් පෙරේරා සහ නෝන අමල් යන අයට රත්මලාන ඥානේන්ද්‍රරාම පාරේ විජයාරාම විහාරස්ථානය අසල දුම්රිය මාර්ගයට යාබදව වෙඩි තබා බරපතළ තුවාල සිදු කිරීමට යොදා ගත් පිස්තෝල අවිය ඇතුළු උපාංග සන්තකයේ තබාගෙන සිටි වයස අවුරුදු 47ක මීගොඩ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබේ. එහිදී එම වෙඩි තැබීමට පැමිණි මෝටර් රථය සැඟවීමට ආධාර අනුබල දුන් වයස අවුරුදු 28ක නුගේගොඩ පදිංචි පුද්ගලයකු ද අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ගල්කිස්ස පොලිස් ස්ථානයට භාරදී ඇත.

සැකකරුවන්ගෙන් සිදු කරන ලද වැඩිදුර ප්‍රශ්න කිරීමේදී මේ වෙඩි තැබීමට යොදා ගන්නා ලද අවිය ඇතුළු උපාංග සහ වෙඩි තැබීමට පැමිණි මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු හා සංවිධානාත්මක අපරාධකරුවකු වන දැනට ඩුබායිහි සිටින ප්‍රියන්තගේ සමීපතම ගෝලයන් ලෙස කටයුතු කරන මේ සැකකරුවන් දෙදෙනා ප්‍රියන්තගේ උපදෙස් පරිදි මෙය සිදුකර ඇත.

මේ එක් සැකකරුවකු මානව හිමිකම් සංවිධානයක කොළඹ දිස්ත්‍රික් විමර්ශන නිලධාරී ලෙස වර්තමානයේ කටයුතු කරන අතර, මේ වෙඩි තැබීමට යොදා ගන්නා ලද පිස්තෝල අවිය සහ අනෙකුත් භාණ්ඩ සන්තකයේ තබා ගැනීමට හා වෙඩි තැබීමට පැමිණි මෝටර් රථය සැඟවීමට සහයවී ඇත.

අනෙක් සැකකරු ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ යාන්ත්‍රික පාබළ රෙජිමේන්තුවට අනුයුක්තව සිට ඇතැයි අනාවරණයවී ඇති බව පොලිසිය පවසයි. ඔහු ද මෝටර් රථය සැඟවීමට සහායවී මේ අපරාධය සඳහා අනුබල දී ඇත.

මෙම වැටලීමේදී තුර්කියේ නිෂ්පාදිත TISAS 30 ZIGANA F වර්ගයේ පිස්තෝල අවියක්, එම අවියට සවි කළ හැකි පතරොම් ගැබක්, මි.මී. 09 වර්ගයේ ජීව උණ්ඩ 07ක්, අත්විලංගු ජෝඩු 02 ක් හා එම යතුරක්, කිනිස්සක්, ජංගම දුරකතනයක්, රජයේ ඉහළ නිලධාරීන් සමග සම්බන්ධතා ඇති බවට පවසා රැකියා ලබා දිය හැකි බවට විවිධ පුද්ගලයින් හට පවසන ලද සංවාද ඇතුළත් සංයුක්ත තැටියක් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් විශේෂ කාර්ය බලකාය විශේෂ මෙහෙයුම් අංශ I හි නිලධාරීන්ට ලද තොරතුරකට අනුව විශේෂ කාර්ය බළකාය අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි අධ්‍යක්ෂ බුද්ධි පොලිස් අධිකාරී එම්.එම්.කේ. විජේසිංහ මහතාගේ මඟපෙන්වීම පරිදි සහකාර පොලිස් අධිකාරී (බුද්ධි/විශේෂ මෙහෙයුම්/මත්ද්‍රව්‍ය නාශක හා සංවිධානාත්මක අපරාධ මර්දන) සාගර කුලසේකර මහතාගේ අධීක්ෂණය මත විශේෂ මෙහෙයුම් අංශ I හි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එච්.වී.එල්. විජයරත්න ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම වැටලීම සිදුකර තිබේ.

රක්ෂණ ශ්‍රියන්ත

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT