Sunday, May 11, 2025
Home » ගෝලීය උතුරේ රටවල් සේවය ගන්නා ලොව දකුණේ රටවල උගත් ශ්‍රමිකයන් වෙනුවෙන් වන්දි ඉල්ලිය යුතුයි

ගෝලීය උතුරේ රටවල් සේවය ගන්නා ලොව දකුණේ රටවල උගත් ශ්‍රමිකයන් වෙනුවෙන් වන්දි ඉල්ලිය යුතුයි

- ‘G77 සහ චීනය’ රාජ්‍ය නායක සමුළුව අමතමින් ජනපති පවසයි

by sachintha
September 18, 2023 2:29 am 0 comment

ගෝලීය දකුණේ සිට උතුරට සිදු වන බුද්ධි ගලනයෙහි ප්‍රතිඵලයක් ලෙස උගත් ශ්‍රම බළකාය අහිමි වීම දකුණේ විද්‍යා, තාක්ෂණ හා නවෝත්පාදන අංශවල සංවර්ධනයට තර්ජනයක් බවට පත්ව ඇති බැවින් ගෝලීය දකුණ වශයෙන් අපගේ උගත් ශ්‍රම බළකාය අහිමි වීම වෙනුවෙන් ගෝලීය උතුරෙන් වන්දි ඉල්ලා සිටිය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ කියුබාවේ හවානා නුවරදී පසුගිය 15 දා ආරම්භ වූ ‘G77 සහ චීනය’ රාජ්‍ය නායක සමුළුව අමතමිනි.

කියුබානු ජනාධිපති මිගෙල් ඩියෙස් කැනෙල් බර්මියුඩෙස් මහතාගේ ප්‍රධානත්වයෙන් සමුළුව ආරම්භ කෙරුණු අතර, සමුළුව ආරම්භ කිරීමට පෙර ඊට සහභාගි වූ සියලු රාජ්‍ය නායකයෝ සමූහ ඡායාරූපයකටද පෙනී සිටියහ. මේ සමුළුව කැඳවීම සම්බන්ධයෙන් කියුබානු ජනාධිපති මිගෙල් ඩියෙස් කැනෙල් බර්මියුඩෙස් මහතා වෙත ප්‍රශංසාව පළ කරමින් සිය දේශනය ආරම්භ කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විවිධ බහුපාර්ශ්වික සංසදයන් තුළදී සංවර්ධනය වෙමින් පවතින රටවල අරමුණු සහ අභිලාෂයන් ඉටු කරගැනීම වෙනුවෙන් කියුබාව ඉටු කර ඇති ඓතිහාසික භූමිකාවද කෘතවේදිව සිහිපත් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා මෙසේද පැවසීය:

“වසංගත, දේශගුණික විපර්යාස, ආහාර, පොහොර සහ බලශක්ති අර්බුද තිරසර සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කරගැනීමට බාධා එල්ල කරනවා. එසේම එම තත්ත්වය ගෝලීය ණය අර්බුදය උග්‍ර කරන අතර, ඒ හේතුවෙන් පෙර නොවූ විරූ අභියෝගවලට මුහුණ දීමට ගෝලීය දකුණේ රටවලට සිදුව තිබෙනවා.

“15 වැනි සියවසේදී වෙඩිබෙහෙත්, කාලතුවක්කු සහ සමුද්‍රීය නැව් වැනි අංශයන් මඟින් යුරෝපය අත් කරගත් දියුණුව නිසා ඔවුන්ට ලෝකයේ අනෙකුත් රටවල් යටත් කරගැනීමට හැකි වුණා. එහි ප්‍රතිඵලයක් ලෙස ලෝකය තුළ අද වන විට තාක්‍ෂණික වශයෙන් විවිධ අසමතුලිතතා ඇතිව තිබෙනවා. අධික පිරිවැය නිසා ඇතැම් තාක්‍ෂණික ක්‍රමවේදයන්ට ප්‍රවේශ වීමට ඇති සීමාව, ප්‍රමාණවත් ඩිජිටල් කුසලතා සහ යටිතල පහසුකම් නොවීම, සංස්කෘතික හා ආයතනික වශයෙන් පවතින බාධා සහ මූල්‍යමය බාධා වැනි අභියෝගකාරි තත්ත්ව එවැනි අසමතුලිතතා ඇති කිරීමට හේතු වී ඇති බව අපගේ විශ්වාසයයි.

“21 වැනි සියවසේ මේ නව තාක්‍ෂණික අසමතුලිතතාව වඩාත් ඉස්මතුව පවතිනවා. ඒ පරතරය පියවාගැනීමට ඩිජිටල්කරණය සහ Big Data, Internet of Things (IoT), කෘත්‍රිම බුද්ධිය (AI), Blockchain, ජෛව තාක්ෂණවේදය (Biotechnology) සහ ජාන අනුක්‍රමණය (Genome Sequencing) වැනි නව තාක්‍ෂණ ක්‍රමවේද කරා අප කඩිනමින් යොමු විය යුතුයි.

සංවර්ධන ක්‍රමවේද හඹායෑමේ ක්‍රියාවලිය පහසු කිරීමට අවශ්‍ය පරිවර්තන සිදු කිරීමටත්, ඒ ක්‍රියාවලි අඛණ්ඩව ඉදිරියට ගෙන යෑමටත්, සංවර්ධනය වෙමින් පවතින රටවලට ඒ සඳහා අත්‍යවශ්‍ය දැනුමෙන් හා තාක්‍ෂණයෙන් පරිපූර්ණ උගත් ශ්‍රම බළකායක් සිටිය යුතුයි.

“දැනට දුර්වල ක්‍රියාකාරිත්වයකින් යුත් විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ ආයතන ඇගයීමට ලක් කිරීමට සහ තාක්ෂණ හා නවෝත්පාදන කවුන්සිලයක් මෙන්ම ඩිජිටල් පරිවර්තන නියෝජිතායතනයක් පිහිටුවීම වෙනුවෙන් ශ්‍රී ලංකාව පියවර ගෙන තිබෙනවා. මීට අමතරව, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ඇති කරගත් තාක්ෂණික සහයෝගිතාවේ ප්‍රතිඵලයක් ලෙස නව තාක්‍ෂණවේදයන් සඳහාම විශේෂිත වූ නව විශ්වවිද්‍යාල හතරක් ඇති කිරීමටද ශ්‍රී ලංකාව සැලසුම් කර තිබෙනවා. එසේම, යෝජිත දේශගුණික විපර්යාස පිළිබඳ ජාත්‍යන්තර විශ්වවිද්‍යාලය එහි පස්වැන්න ලෙස ස්ථාපනය කිරීමට අප අපේක්ෂා කරනවා.

“G77 සහ චීනය’ කණ්ඩායම තුළ ඵලදායි සහයෝගිතා යන්ත්‍රණයක් අවශ්‍යව තිබෙනවා. ගෝලීය දකුණ සඳහා විද්‍යාව, තාක්ෂණය සහ නවෝත්පාදනය පිළිබඳ එකමුතුව (COSTIS) පුනර්ජීවනය කිරීම සඳහා එහි පර්යේෂණ හා සංවර්ධන කටයුතු පවත්වා ගෙන යෑම වෙනුවෙන් දශකයක් පුරා ඔවුන්ගේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 1%ක් වෙන් කිරීම මඟින් සාමාජික රටවල් යම් කැප කිරීමක් කළ යුතු බව යෝජනා කිරීමට මා කැමතියි. යුරෝපා සංගමයේ තාක්ෂණ සහ නවෝත්පාදන අංශය අනුගමනය කරමින් ඩිජිටල්කරණය, සෞඛ්‍යය, වෛද්‍ය, කෘත්‍රිම බුද්ධිය සහ හරිත හයිඩ්‍රජන් වැනි පුනර්ජනනීය බලශක්තිය ආදි ක්ෂේත්‍රවල තාක්ෂණික වේදිකා නිර්මාණය කිරීමට රාජ්‍ය සහ පෞද්ගලික අංශය සහයෝගයෙන් කටයුතු කිරීම ඉතා වැදගත් වෙනවා.

“ගෝලීය දකුණේ සිට උතුරට සිදු වන බුද්ධි ගලනයෙහි ප්‍රතිඵලයක් ලෙස උගත් ශ්‍රම බළකාය අහිමි වීම දකුණේ විද්‍යා, තාක්ෂණ හා නවෝත්පාදන අංශවල සංවර්ධනයට තවත් තර්ජනයක් බවට පත්ව තිබෙනවා. චීනය, ඉන්දියාව, ජපානය සහ දකුණු කොරියාව වැනි රටවල් ඔවුන්ගේ ශ්‍රම ශක්තිය පෝෂණය කරමින් විද්‍යාව, තාක්‍ෂණය සහ නවෝත්පාදනය දියුණු කර තිබෙනවා. ඒ නිසා ගෝලීය දකුණ වශයෙන් අපගේ උගත් ශ්‍රම බළකාය අහිමි වීම වෙනුවෙන් ගෝලීය උතුරෙන් වන්දි ඉල්ලා සිටිය යුතුයි. ගෝලීය දකුණේ රටවල් වඩා සමීප සහයෝගිතාවක් පවත්වා ගැනීමට කැප විය යුතුයි. සහයෝගිතාව වැඩි දියුණු කිරීම, හොඳම භාවිතයන් හුවමාරු කරගැනීම සහ විද්‍යාව, තාක්‍ෂණය හා නවෝත්පාදනයන්ගේ පරිවර්තනීය හැකියාවන් උපයෝගි කරගන්නා ප්‍රතිපත්ති සංවර්ධනය කිරීම වෙනුවෙන් කොළඹ සැලැස්මට (Colombo Plan) සමාන යෝජනා ක්‍රමයක් ඇති කිරීමටද මා මෙහිදී යෝජනා කරනවා. නව හවානා ප්‍රකාශනයට සහාය දැක්වීමට ශ්‍රී ලංකාව කැප වී සිටින බවද අවධාරණය කළයුතුයි. ‘G77 සහ චීනය’ රාජ්‍ය නායක සමුළුවේ සාමූහික හඬ ජාත්‍යන්තරයට ගෙන යෑමට එක් වන ලෙසත් මා සියලු සාමාජික රටවලින් ඉල්ලා සිටිනවා.”

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT