Sunday, May 11, 2025
Home » ජේආර් මඟ ඉදිරියට ගෙන ගියා නම් ශ්‍රී ලංකාව අද සංවර්ධිත රාජ්‍යයක්

ජේආර් මඟ ඉදිරියට ගෙන ගියා නම් ශ්‍රී ලංකාව අද සංවර්ධිත රාජ්‍යයක්

-ජේ.ආර්. ජයවර්ධන 117 වැනි ජන්ම සමරුවට පණිවිඩයක් යොමු කරමින් ජනපති කියයි

by sachintha
September 18, 2023 3:31 am 0 comment

හිටපු කථානායක කරු ජයසූරිය, කථානායක මහින්ද යාපා අබේවර්ධන, ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන, සබරගමු පළාත් ආණ්ඩුකාර නවීන් දිසානායක, හිටපු ඇමැති රවි කරුණානායක ඇතුළු ආරාධිතයන් පිරිසක්

ජේ.ආර්. ජයවර්ධන මහතා 1977දී ආරම්භ කළ සමාජ ආර්ථික ප්‍රතිසංස්කරණ ඒ අයුරින්ම කාලානුරූපිව ඉදිරියට ගෙන යන්නට අපට හැකි වූයේ නම් ශ්‍රී ලංකාව අද සංවර්ධිත රාජ්‍යයක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ඊයේට (17) යෙදී තිබුණු දිවංගත ජනපති ජේ.ආර්. ජයවර්ධන මහතාගේ 117 වැනි ජන්ම දින සමරුම වෙනුවෙන් විශේෂ පණිවිඩයක් නිකුත් කරමිනි.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 78 වන සැසිවාරයට සහභාගි වීමට ජනාධිපතිවරයා අමෙරිකා එක්සත් ජනපදයේ නිල සංචාරයක නිරත වන බැවින් ඔහු මෙලෙස විශේෂ පණිවිඩයක් යොමු කර තිබිණි. සමරුම් උත්සවය ඊයේ (17) පස්වරුවේ කොළඹ 7 ජේ.ආර්. ජයවර්ධන මධ්‍යස්ථානයේදී පැවැත්වුණු අතර, එහි ප්‍රධාන සමරු දේශනය හිටපු කථානායක කරු ජයසූරිය මහතා සිදු කළේය. ජේ.ආර්. ජයවර්ධන මධ්‍යස්ථානයේ පාලක මණ්ඩල සභික ජේ.ආර්. ජයවර්ධන මැතිතුමාගේ ජ්‍යෙෂ්ඨ මුනුපුරු ප්‍රදීප් ජයවර්ධන මහතා ජේ.ආර්. ජයවර්ධන පිළිරුවට මල්දමක් පලඳවා උපහාර දැක්වූ අතර, කරු ජයසූරිය මහතාට සමරු තිළිණයක්ද පිළිගැන්වීය.

ජනාධිපතිවරයාගේ පණිවිඩය ජේ.ආර්. ජයවර්ධන මධ්‍යස්ථානයේ වැඩබලන ලේකම් ජනරාල්, ජනාධිපති ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් පී. චාමිකා මුම්මුල්ලගේ මහත්මිය විසින් සභාවට ඉදිරිපත් කරනු ලැබීය. එහි මෙසේ දක්වා තිබේ.

“ජේ. ආර්. ජයවර්ධන යනු මෙරට සමාජ ආර්ථිකයේ පෙරළියක් කළ මහා විප්ලවවාදියාය. එතුමන් 1977දී ආරම්භ කළ සමාජ, ආර්ථික ප්‍රතිසංස්කරණ ඒ අයුරින්ම කාලානුරූපව ඉදිරියට ගෙන යන්නට අපට හැකි වූයේ නම්, අද අප සංවර්ධිත රාජ්‍යයකි. එහෙත් රටේ ඇති වූ කැරලි කෝලහාල, ත්‍රස්තවාදය වැනි අර්බුද සහ ජේ.ආර්. දර්ශනය මනාව අවබෝධ කරගැනීමට අසමත් වීම ආදි විවිධ හේතු මත අපට ඒ සමාජ ආර්ථික ප්‍රතිසංස්කරණ සියයට සියකක්ම සාර්ථක කරගැනීමට නොහැකි විණි. එවක සංවෘත ආර්ථික හා සමාජවාදී ආර්ථික පිළිවෙත් අනුගමනය කළ ඉන්දියාව, චීනය, වියට්නාමය ආදි අප කලාපීය රටවල් සිය සමාජ ආර්ථික ප්‍රතිපත්ති වෙනස් කරලීමේදී ජේ.ආර්. ක්‍රමය හැදෑරීය. ඒ සියලු රටවල් අවබෝධයෙන් යුතුව සිය ප්‍රතිපත්ති කාලානුරූපව හැඩගස්සවා ගනිමින් ඉදිරියට ගියේය. ජේ.ආර්. ජයවර්ධන මැතිතුමන් රට වෙනුවෙන් කළ උදාර මෙහෙවර සිහිපත් කිරීමට කැප වී ඇති ජේ.ආර්. ජයවර්ධන මධ්‍යස්ථානයේ පාලක මණ්ඩලයේ ලේකම් ජනරාල් ඇතුළු කාර්ය මණ්ඩලයට මාගේ ස්තුතිය පුද කරමි.”

හිටපු කථානායක කරු ජයසුරිය මහතා:

“නිර්පාක්ෂික පුද්ගලයකු වශයෙන් අද මේ අවස්ථාවට සම්බන්ධ වීමට ලැබීම පිළිබඳ මම සතුටට පත් වනවා. ජයවර්ධන මැතිතුමා සතුව උසස් නායකත්ව ලක්ෂණ තිබුණා. එබැවින් වත්මන් දේශපාලන නායකයන්ට එතුමාගේ චරිතය මනා ආදර්ශයක් බව කිව යුතුයි. ඒ මහතා ජනතාව වෙනුවෙන් සේවය කළත් කිසි විටෙක ප්‍රසිද්ධිය බලාපොරොත්තු වුණේ නැහැ. එසේම එතුමා විදෙස් රටවල් සමග පැවැත්වූ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා රටට ඉතා වැදගත් වුණා.”

ප්‍රදීප් ජයවර්ධන මහතා:

“රටේ අභියෝගාත්මක කාලසීමාවක, ඒ වගේම එම අර්බුදයට විසඳුම් සොයමින් සිටින අවස්ථාවක තමයි අද මේ සමරු උත්සවය පවත්වන්නේ. මේ තත්ත්වයට වගකිව යුත්තේ විධායක ජනාධිපති ක්‍රමය කියා අද සමාජයේ ඇතැම් පාර්ශ්ව කතා වෙනවා. එක ආණ්ඩුවක් හැරෙන්න අනිත් සියලු ආණ්ඩුවලට සිය ධුර කාලය සම්පූර්ණ කරගන්න හැකියාව ලැබුණේ මේ විධායක ජනාධිපති ක්‍රමය නිසයි. විධායක ජනාධිපති ක්‍රමය නිසා තමයි උතුරේ යුද්ධය අවසන් කරන්න හැකි වුණේ. ඒ වගේම රටේ ස්ථාවරත්වය පවත්වා ගැනීමටත් හැකියාව ලැබුණා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රට ගොඩනැගීමට ගෙන යන වැඩපිළිවෙළට සියලු දෙනාගේ සහාය හිමි විය යුතුයි”.

හිටපු කථානායක කරු ජයසූරිය, කථානායක මහින්ද යාපා අබේවර්ධන, ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන, සබරගමු පළාත් ආණ්ඩුකාර නවීන් දිසානායක, පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක, හිටපු ඇමැතිවරුන් වන ජෝන් අමරතුංග, රවි කරුණානායක, දයා ගමගේ, ආනන්ද කුලරත්න, එජාප ප්‍රතිපත්ති හා පර්යේෂණ කමිටුවේ සභාපති ආචාර්ය කරුණාසේන කොඩිතුවක්කු, හිටපු ඇමැතිනි සහ දෙහිවල ගල්කිස්ස හිටපු නගරාධිපතිනි සුනේත්‍රා රණසිංහ, ජනාධිපති අධ්‍යක්ෂ ජනරාල් (දේශපාලන කටයුතු) ෂාමල් සෙනරත්, ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් කේ.පී. දයාරත්න, ජේ.ආර්. ජයවර්ධන මධ්‍යස්ථානයේ පාලක මණ්ඩල සභික ජ්‍යෙෂ්ඨ මහාචාර්ය යූ.ජී.ඒ. පුස්වෙවල, ජේ.ආර්. ජයවර්ධන මහතාගේ මුනුපුරන් වන රුක්ෂන් ජයවර්ධන, අම්රික් ජයවර්ධන මහත්වරුන් ප්‍රමුඛ ජේ.ආර්. ජයවර්ධන මධ්‍යස්ථානයේ සභිකයන්, ඥාතීන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT