පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩල ප්‍රධානී සහ නියෝජ්‍ය මහලේකම් ධූරය සඳහා නීතිඥ චමින්ද කුලරත්න මහතා පත් කර තිබේ.
පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් හා කාර්ය මණ්ඩල ප්‍රධානී ලෙස කටයුතු කළ ටිකිරි ජයතිලක මහතා මහාධිකරණ විනිශ්චයකාරවරයකු ලෙස පත්වීම හේතුවෙන් එම තනතුර සඳහා නීතිඥ කුලරත්න මහතා මෙසේ පත් කර ඇත.
පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයන්ගෙන් සමන්විත පාර්ලිමේන්තු කටයුතු කාරක සභාවේ අනුමැතියෙන් පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල උපදේශක සභාව විසින් මෙකී තනතුර සඳහා අයදුම්පත්‍ර කැඳවන ලද අතර ඉදිරිපත් වූ අයදුම්කරුවන් ඉහළ මට්ටමේ සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයක් විසින් සම්මුඛ පරීක්ෂණයට ලක් කිරීමෙන් අනතුරුව ඒ මහතා එම තනතුර සඳහා තෝරාගෙන ඇත. කථානායකවරයාගේ සභාපතීත්වයෙන් යුතු එම සම්මුඛ පරීක්ෂණ මණ්ඩලය අග්‍රාමාත්‍යවරයා, විපක්ෂ නායකවරයා, සභානායකවරයා, විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා හා පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරිය යන අයගෙන් සමන්විත වෙයි.
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මෙවැනි ඉහළ මට්ටමේ තනතුරක් සඳහා මීට පෙර මෙවැනි ඉහළ මට්ටමේ සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයක් මඟින් තෝරා ගැනීමක් 1963දී ද සිදුවී ඇත. එවකට පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් (Clerk Assistant) වශයෙන් කටයුතු කළ බර්ටි කොස්වත්ත මහතා සෙෙනට් මණ්ඩලයේ ලේකම්වරයා වශයෙන් පත්වීම හේතුවෙන් එකී තනතුර පුරප්පාඩු වූ අතර, ඒ හේතුවෙන් ඒ සඳහා විවෘත අයැදුම්පත් කැඳවීමක් සිදු කර ඇත. ඒ අනුව එහිදී ද එවකට කථානායකවරයා වශයෙන් කටයුතු කළ ආර්.එස්.පැල්පොල මහතා, විපක්ෂ නායක ඩඩ්ලි සේනානායක මහතා, සභානායක සී.පී.ඩී. සිල්වා මහතා හා එවකට පාර්ලිමේන්තු මහ ලේකම් රැල්ෆ් දැරණියගල මහතා යන අයගෙන් සමන්විත සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයක් මඟින් සෑම් විජේසිංහ මහතා පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම්වරයා වශයෙන් තෝරා පත්කර ගෙන ඇත.
නීතිඥ චමින්ද කුලරත්න මහතා පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ලේකම්, ජනාධිපති අතිරේක ලේකම්, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම්, විපක්ෂ නායක අතිරේක ලේකම්, එක්සත් රාජධානියේ ලන්ඩන්හි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ අමාත්‍ය උපදේශක, ජනාධිපති ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්, ජනාධිපති සහකාර ලේකම් ඇතුළු රජයේ විධායක මට්ටමේ පරිපාලන තනතුරු රැසක් වසර 20ක පමණ කාලයක් තිස්සේ දරනු ලබන ව්‍යවස්ථාපති නීතිය, පාර්ලිමේන්තු කටයුතු හා ක්‍රියාදාමයන් පිළිබඳ ද, රාජ්‍ය පරිපාලන හා මුදල් රෙගුලාසි පිළිබඳ ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ අත්දැකීම් සහිත ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරියෙකි. ඔහු එක්සත් රාජධානිය, අමෙරිකා එක්සත් ජනපදය, ඔස්ට්‍රේලියාව, චීනය, ඉන්දුනීසියාව, ජපානය ඇතුළු රටවල් රැසක ජාත්‍යන්තර සම්මන්ත්රණ හා පුහුණු පාඨමාලා රැසකට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වී ඇත.
තවද, ඒ මහතා නීතිවේදී උපාධිධාරියකු හා ජ්‍යෙෂ්ඨ නීතිඥවරයකු ද වන අතර, කොළඹ විශ්වවිද්‍යාලයේ හා එක්සත් රාජධානියේ බකින්හැම්ෂයර් විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාධාරියකු ද වේ. එමෙන්ම ඒ මහතා 2005 වසරේ සිට ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ යාවජීව සාමාජිකයකු මෙන්ම 2016 වසරේ සිට නීතිඥ සංගමයේ කවුන්සිලයේ (Bar Council) සාමාජිකයකු ද වේ.
ලංකා බැංකුව, මර්චන්ට් බැංකුව, MBSL ඉන්ෂුවරන්ස් ලිමිටඩ්, ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලය (GOH), සී/ස මගනැඟුම ඉමල්ෂන් පුද්ගලික සමාගම, Colombo Financial City Foundering Ltd ඇතුළු රාජ්‍ය ආයතන රැසක අධ්යක්ෂ මණ්ඩලයන්හි සාමාජිකයකු ලෙස ද ඒ මහතා කටයුතු කර ඇත.
තවද, ඔහු එක්සත් රාජධානියේ ලන්ඩන්හි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ අමාත්‍ය උපදේශකවරයකු වශයෙන් සේවය කරන ලද කාල වකවානුවේදී තානාපති නිලධාරීන්ගේ පැරණිතම සංගමය වන කන්සියුලර් නිලධාරීන්ගේ සංගමයේ විධායක සභාව නියෝජනය කළ පළමු දකුණු ආසියානු රාජ්‍ය තාන්ත්‍රිකයා ද වේ. එමෙන්ම එම කාලයේදී ඔහු විසින් එක්සත් රාජධානියේ පාර්ලිමේන්තුව (House of Commons) හා පොදු රාජ්‍ය මණ්ඩලයීය මහ ලේකම් කාර්යාලය සමඟ මනා සම්බන්ධතාවක් පවත්වාගෙන යන ලදී. ඒ මහතා එක්සත් රාජධානියේ ලන්ඩන්හි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ සේවය නිම කොට මෙරටට පැමිණීමේදී ඔහු වෙනුවෙන් සමුගැනීමේ සාදය පවත්වන ලද්දේ ද මහා බ්‍රිතාන්‍යයේ පාර්ලිමේන්තුවේ කාරක සභා ශාලාවකදීය. එකී ගෞරවය ලද ප්‍රථම ශ්‍රී ලාංකික රාජ්‍ය තාන්ත්‍රිකයා වූයේ ද ඒ මහතාය.