Sunday, May 11, 2025
Home » මිරිහාන නඩු භාණ්ඩ කාමරයෙන් රන් බඩු සොරා ගත් SI අත්අඩංගුවට

මිරිහාන නඩු භාණ්ඩ කාමරයෙන් රන් බඩු සොරා ගත් SI අත්අඩංගුවට

by sachintha
September 18, 2023 12:58 am 0 comment

ඉස්සූ රන් භාණ්ඩ නුගේගොඩ මහරගම කඩවලට උකස් කරලා

මිරිහාන පොලිසියේ නඩු භාණ්ඩ කාමරයෙන් රන් භාණ්ඩ සහ මුදල් සොරා ගැනීමක් සම්බන්ධයෙන් උප පොලිස් පරීක්ෂකවරයෙක් මිරිහාන පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ එම නඩු භාණ්ඩ කාමරය භාරව සිටි උප පොලිස් පරික්ෂකවරයායි.
මීට සති 2කට පමණ ඉහතදී නඩු කටයුත්තකට අවශ්‍ය රන් භාණ්ඩ ඇසුරුමක් සොයා බැලීමේදී එය අස්ථානගතවීමෙන් අනතුරුව මිරිහාන මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක මංජුල තුෂාර මහතාගේ උපදෙස් මත විමර්ශන ආරම්භ කිරීමත් සමඟම සැකකාර උපපොලිස් පරීක්ෂකවරයා පලාගොස් තිබූ බව පොලිසිය කියයි.
මිරිහාන පොලිසියේ නඩු භාණ්ඩ කාමරයේ නඩු භාණ්ඩ අතර එම පොලිසියේ මෙන්ම නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ සහ තවත් විශේෂ අංශ කීපයකින් සැකකරුවන්ගෙන් භාරයට ගත් නඩු භාණ්ඩ රැසක් ගබඩා කර තිබෙන අතර රන් භාණ්ඩ සහ මුදල් තොගයක්ද වන බව පොලිස් ආරංචි මාර්ග පවසයි.
මෙම උපපොලිස් පරික්ෂකවරයා සොරා ගෙන තිබූ රන් භාණ්ඩ නුගේගොඩ සහ මහරගම උකස් මධ්‍යස්ථානවල උගස් කර මුදල් ලබා ගෙන ඇති බව අනාවරණය වී තිබේ.
සැකකරු සොරාගෙන ඇති දේපළ සම්බන්ධයෙන් හා නිශ්චිත වටිනාකම අනාවරණය කර ගැනීම සඳහා මේ දිනවල අභ්‍යන්තර විගණනයක් පවත්වන බවත් පොලිස් නිලධාරියෙක් පැවැසීය.
පලා ගොස් සිටි සැකකාර උපපොලිස් පරීක්ෂකවරයා අක්මීමන ප්‍රදේශයේ ඔහුගේ ඥාති නිවසක සැඟව සිටියදී අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවද පොලිසිය කියයි.
වසර නමයක කාලයක් එක දිගට නඩු භාණ්ඩ කාමරය භාරව සිටි මෙම උප පොලිස් පරික්ෂකවරයා ස්ථාන මාරු කරන ලෙස මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා මීට වසර කීපයකට පෙර නිර්දේශ කිරීමේ ප්‍රතිඵලයක් ලෙස මාලිගාවත්ත පොලිසියට ඔහු ස්ථාන මාරු කළ ද කිසියම් ක්‍රමයකින් ඔහු එය අවලංගු කර ගෙන තිබූ බව පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් පොලිස් පරීක්ෂකවරයාගෙන් ඔහු සොරාගත් දේපළ සම්බන්ධයෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කර ගන්නා බවත් ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.
මිරිහාන මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක මංජුල තුෂාර, නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජේ කේ ජි හේවගේ මහතා පරීක්ෂණ පවත්වති.
බණ්ඩාරගම – බිමල් ජයසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT