Home » ත්‍රස්තවාදයට මුදල් සැපයීම-මත්ද්‍රව්‍ය ජාවාරම-දූෂණ ඇතුළු මුදල් විශුද්ධිකරණය වැළැක්වීමට දස වැදෑරුම් වැඩපිළිවෙළක් -මහ බැංකුව පියවර ගනී

ත්‍රස්තවාදයට මුදල් සැපයීම-මත්ද්‍රව්‍ය ජාවාරම-දූෂණ ඇතුළු මුදල් විශුද්ධිකරණය වැළැක්වීමට දස වැදෑරුම් වැඩපිළිවෙළක් -මහ බැංකුව පියවර ගනී

by sachintha
September 18, 2023 12:30 am 0 comment

ත්‍රස්තවාදය, ත්‍රස්තවාදයට මුදල් සැපයීම, මත්ද්‍රව්‍ය ජාවාරම, දූෂණය, වෙළෙඳාම් ආශ්‍රිත අපරාධ සහ මුදල් විශුද්ධිකරණය ඇතුළු ලාභය මත පදනම් වූ අපරාධමය ක්‍රියාකාරකම් වළක්වා ගැනීම සඳහා දස වැදෑරුම් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව සූදානම් වේ. මුදල් විශුද්ධිකරණය පිළිබඳ ආසියා ශාන්තිකර කලාපීය කණ්ඩායමේ විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහන හා වැඩමුළුව ඉකුත්දා කොළඹදී පැවැති අවස්ථාවේදී මේ බව අවධාරණය කර තිබේ.

මුදල් විශුද්ධිකරණය පිළිබඳ ආසියා ශාන්තිකර කලාපීය කණ්ඩායමේ ආරම්භක සාමාජික රටවල් 13න් එකක් ලෙස වසර 1997 සිට ශ්‍රී ලංකාව කටයුතු කරනු ලබයි. එවන් ඉතිහාසයක් ඇති ශ්‍රී ලංකාව තුළ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමට අනුගමනය කළ යුතු දස වැදෑරුම් යෝජනාවලිය, වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ඉදිරියේදී දැඩි උනන්දුවෙන් සහ වගකීමෙන් යුතුව ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා මහ බැංකුව කියා සිටී.

මුදල් විශුද්ධිකරණය, ත්‍රස්තවාදයට මුදල් සැපයීම සහ සමූල ඝාතක අවි ව්‍යාප්තිය සඳහා වන මූල්‍යනය වැළැක්වීම සඳහා වන ජාත්‍යන්තර ප්‍රමිතීන් ඵලදායී ලෙස ක්‍රියාත්මක කළ යුතු වේ. ඒ සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම අධීක්ෂණය කිරීමට හා මඟපෙන්වීම් ලබාදීමට රටවල් 200ක් පමණ සාමාජිකත්වය දරන මූල්‍ය කාර්යසාධක බළකායේ විෂය පථය යටතේ ඇති කලාපීය ආයතන නවය හා අනුබද්ධ ආයතන කටයුතු කරනු ලබයි.

ශ්‍රී ලංකාව මූල්‍ය කාර්ය සාධක බළකාය විසින් නැවත අළු ලේඛනගත නොවී සිටීමට වගබලා ගත යුතුය. එසේ නොවුණහොත් අහිතකර ආර්ථික බලපෑම්වලට නැවත මුහුණදීමට සිදුවනු ඇත. ඒ නිසා ශ්‍රී ලංකාව එවන් අහිතකර ප්‍රතිවිපාකවලින් බේරී සිටීමට ක්‍රියාමාර්ග 10 ක් ද මහ බැංකුව අවධාරණය කර තිබේ.

සඵලතාව කෙරෙහි අවධානය යොමු කිරීම, වැඩිදියුණු කළ අධීක්ෂණය, කාලෝචිත නීති සම්පාදනය, සම්පත් වෙන් කිරීම, අන්තර් නියෝජිතායතන සම්බන්ධීකරණය, නඩු පැවරීම, නීතිය බලාත්මක කිරීම, අධිකරණය, පුද්ගලික අංශයේ සහභාගීත්වය, ජාත්‍යන්තර සහයෝගීතාව එම ක්‍රියාමාර්ග වේ.

ශ්‍රී ලංකාවේ මුදල් විශුද්ධිකරණය වැළැක්වීම සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඬපැවැත්වීමේ රාමුව සම්බන්ධයෙන් ඉදිරියේදී පැවැත්වීමට නියමිත අන්‍යෝන්‍ය ඇගයීම පිළිබඳව මෙරට දේශීය බලධාරීන් තවදුරටත් දැනුවත් කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකයේ ආරාධනයකට අනුව, මුදල් විශුද්ධිකරණය පිළිබඳ ආසියා ශාන්තිකර කලාපීය කණ්ඩායමේ ඉහළ පෙළේ නියෝජිත පිරිසක් පසුගියදා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වූහ.

ජූලියන් බ්‍රාසෝ මහතා – මුදල් විශුද්ධිකරණය පිළිබඳ ආසියා ශාන්තිකර කලාපීය කණ්ඩායමේ සම සභාපති සහ කැනඩාවේ ඔටාවා හි මුදල් දෙපාර්තමේන්තුවේ මූල්‍ය ප්‍රතිපත්ති අංශයේ සහකාර නියෝජ්‍ය අමාත්‍ය, ආචාර්ය ගෝර්ඩන් හුක් – මුදල් විශුද්ධිකරණය පිළිබඳ ආසියා ශාන්තිකර කලාපීය කණ්ඩායමේ විධායක ලේකම්, ඩේවිඩ් ෂැනන් මහතා – මුදල් විශුද්ධිකරණය පිළිබඳ ආසියා ශාන්තිකර කලාපීය කණ්ඩායමේ අන්‍යෝන්‍ය ඇගයීම් තත්ත්ව සහ අනුකූලතාව පිළිබඳ අධ්‍යක්ෂ මෙම ජාත්‍යන්තර නියෝජිත පිරිසට ඇතුළත් වූහ.

මෙම ප්‍රමුඛතා ක්‍රියාමාර්ගවලට කාර්යක්ෂමව අනුගත වීම මගින්, ශ්‍රී ලංකාවට සිය අන්‍යෝන්‍ය ඇගයීමේදී හිතකර ප්‍රතිඵලයක් ලබා ගත හැකි වනු ඇති අතර, මූල්‍ය කාර්යසාධක බලකාය විසින් අළු ලේඛනගත කිරීම හා සම්බන්ධ අහිතකර ආර්ථික හා මූල්‍ය ප්‍රතිවිපාක වළක්වා ගත හැකි වනු ඇත. එබැවින්, මෙරට තෙවන අන්‍යෝන්‍ය ඇගයීමට මුහුණ දීම සඳහා මුදල් විශුද්ධිකරණය වැළැක්වීම සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඬපැවැත්වීමේ රාමුවේ ඇති දුර්වලතා අප්‍රමාදව ආමන්ත්‍රණය කිරීම සඳහා පාර්ශ්වකරුවන් 24 දෙනා විසින්ම ඔවුන්ගේ ධාරිතාව තුළ හැකි සෑම උත්සාහයක්ම ගෙන ඇති බව සහතික කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ජයසිරි මුණසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT