අමෙරිකා එක්සත් ජනපදයේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 78 වන සැසිවාරයට එක් වීම සඳහා ඊයේ (17) නිව්යෝර්ක් නුවරට ගිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම 21 දා සමුළුව අමතා විශේෂ දේශනයක් සිදු කිරීමට නියමිතය.
ලෝක සාමය හා තිරසර සංවර්ධනය අරමුණු කරගත් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 78 වැනි මහා මණ්ඩල සැසිය ඇමෙරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් නුවර දී අද (18) ආරම්භ වීමට නියමිතය.
කියුබාවේ පැවති “G77 සහ චීනය” රාජ්‍ය නායක සමුළුවට සහභාගි වීමෙන් අනතුරුව ජනාධිපතිවරයා අමෙරිකා එක්සත් ජනපදය බලා පිටත් විය.
“2030 න්‍යාය පත්‍රය වෙනුවෙන් සාමය, සෞභාග්‍යය, ප්‍රගතිය සහ තිරසරභාවය මත පදනම්ව තිරසර සංවර්ධන ඉලක්ක ජය ගැනීමේ ක්‍රියාමාර්ග වේගවත් කිරීම සඳහා විශ්වාසය යළි ගොඩනැංවීම සහ ගෝලීය සහයෝගීතාව යළි ඇති කිරීම” යන තේමාව යටතේ සැප්තැම්බර් 18 වන දා සිට 21 දක්වා මෙවර සැසිවාරය පැවැත්වෙයි.
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සමගාමීව සැප්තැම්බර් 18 වනදා පැවැත්වෙන, 2030 වෙනුවෙන් පරිවර්තනීය සහ වේගවත් ක්‍රියාදාමයන් සඳහා ලෝක නායකයින් විසින් මාර්ගෝපදේශ සපයනු ලබන 2023 තිරසර සංවර්ධන ඉලක්ක සමුළුවේ රාජ්‍ය නායක හමුව සඳහා ද ජනාධිපතිවරයා සහභාගි වීමට නියමිතය.
එසේම එදින ජනාධිපතිවරයා සමුළුවට එක්ව සිටින රාජ්‍ය නායකයන් කිහිප දෙනෙකු සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිත අතර සමුද්‍රීය ජාතීන් සඳහා වන ඉන්දු – පැසිෆික් දූපත් රාජ්‍යයන් අතර සංවාදය සඳහා ද එක්වීමට නියමිතව තිබේ.
ශිරෝමි අබයසිංහ, මහින්ද අලුත්ගෙදර