මුලතිව්, කොක්කුතුඩුවායි සමූහ මිනී වළේ කැණීම් කටයුතු තාවකාලිකව පසුගිය 15 වැනිදා සවස සිට නවතා දැමූ බව එම සමූහ මිනී වළේ කැණීම් කටයුතු භාර ජ්‍යෙෂ්ඨ පුරාවිද්‍යාඥ, මහාචාර්ය රාජ් සෝමදේව මහතා පැවැසීය.
මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙෙස් ද කීවේය.
“මේ දක්වා කැණීම් කිරීමෙන් මතු කර ගත් සාක්ෂි සහ අනෙකුත් ද්‍රව්‍ය සම්බන්ධයෙන් විශ්ලේෂණය කර මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව අධිකරණය දෙන තීරණ අනුව ඉදිරි කටයුතු කිරීමට නියමිතයි.
කැණීම් කිරීමෙන් මෙතෙක් මතු කර ගත් දෑ සම්බන්ධයෙන් නිශ්චිත තීරණයක් තවමත් ගැනීමට නොහැකි තත්ත්වයක් පවතිනවා. පුරා දින නවයක් සිදු කළ මේ කැණීම් කටයුතුවලට රුපියල් ලක්ෂ 57ක් වැයවී තිබෙනවා. ඉදිරියටත් කැණීම් කටයුතු කරගෙන යෑමට මූල්‍යමය ගැටලුවක් ද ඇතිව තිබෙනවා.
මෙතෙක් එම සමූහ මිනී වළේ සිදු කළ කැණීම් කටයුතුවලදී කොටි සෙබළියන් 17 දෙනකුගේ සහ එක් කොටි සාමාජිකයකුගේ බවට සැක කෙරෙන ඇට සැකිල්ලක් හමුවී තිබෙනවා. ඊට අමතරව කොටි සෙබළියන්ගේ බවට සැක කෙරෙන නිල ඇඳුම් කැබලි, කාන්තා ඇඳුම් කැබලි, පැරණි පිස්තෝලයක්, ගිනි අවි පහක කොටස්, සයනයිඩ් කරල් බවට සැක කෙරෙන කුප්පි දෙකක්, හඳුනා ගැනීමේ අංක තහඩු දෙකක් (ඩෝග් ටැග්) ඇතුළු තවත් භාණ්ඩ සහ උපකරණ රැසක් හමුවී තිබෙනවා.
සොයා ගත් දෑ පිළිබඳව විධිමත් ලේඛන ගත කිරීමක් සහ මූලික පරීක්ෂණයක් සිදු කිරීමට කාලය අවශ්‍ය නිසාත්, මුදල් ගැටලුවක් ඇතිවීමත් මේ කැණීම් කටයුතු තාවකාලිකව නවතා දැමීමට හේතුවී තිබෙනවා.”
ගොඩ ගත් අස්ථි කොටස් මුලතිව් මහේස්ත්‍රාත්වරයාගේ නියෝග යටතේ පරීක්ෂණ වෙනුවෙන් මුලතිව් රෝහලේ ස්ථාපිත විශේෂිත කුටියක තැන්පත් කර ඇති බව මුලතිව් රෝහල් විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී වාසුදේව මහතා පැවැසුවේය.
කැණීම් තුළින් එක මත එක පිහිටි අස්ථි කූඩු මතු කර ගත් බවත්, හමු වු අස්ථි කූඩු අවිධිමත් ලෙසට වළට දමා ඇති බව නිරීක්ෂණය වන බවත්, පොදු සුසානයක සිරුරු තැන්පත් කරන ආකාරයට ක්‍රමානුකූල බවකින් තොරව සිරුරු වළට දමා ඇති බවත් කැණීම් නිලධාරීහු වැඩිදුරටත් පැවැසූහ.
මුලතිව් මහේස්ත්‍රාත් ධර්මලිංගම් ප්‍රදීපන් මහතාගේ අධීක්ෂණය යටතේ, පුරාවිද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේවගේ ප්‍රධානත්වයෙන් යුතු කණ්ඩායමක් සමූහ මිනී වළ සම්බන්ධයෙන් කැණීම් සිදු කළහ.
කෝකිලායි පොලිස් නිලධාරීන්, පොලිස් විශේෂ කාර්ය බළකා බෝම්බ නිශ්ක්‍රීය අංශය, පුරාවිද්‍ය නිලධාරීන්, පොලිස් අපරාධ ස්ථාන පරීක්ෂක නිලධාරීන් ඇතුළු කණ්ඩායම් රැසක් මේ සඳහා සහයෝගය දී ඇත.
උතුරු පළාත් විශේෂ – රසුල දිල්හාර ගමගේ