කෑගල්ල හෙට්ටිමුල්ල මලවිට උඩගම ශ්‍රී බෝධික්ඛාරාම විහාරස්ථානයේ ශ්‍රී සීලානන්ද දහම් පාසලේ ඉගනුම ලබන දරුවන් වෙනුවෙන් ආරම්භ කරන ලද ශාලා ගොඩනැඟිල්ල අතරමඟ නැවතීම හේතුවෙන් දරුවන්ට අධ්‍යාපන කටයුතු සිදු කිරීම ගැටලුක්ව ඇතැයි විහාරාධිකාරී ශ්‍රී සීලානන්ද දහම් පාසලේ ප්‍රධානාචාර්ය පූජ්‍ය කන්දේගම වංගීස හිමියෝ පැවසූහ.
1979 වර්ෂයේදී කෑගල්ල හෙට්ටිමුල්ල මලවිට උඩගම ශ්‍රී බෝධිරුක්ඛාරාමාධිපති පරණකූරු කෝරළයේ ප්‍රධාන සංඝනායක අපවත් වී වදාළ මීදෙනියේ ශ්‍රී සීලානන්ද නාහිමියන් විසින් සිය දායක පවුල්වල ජනයාගේ දරුවන්ට දහම් දැනුම ලබා දීමේ අරමුණින් දරුවන් 16 දෙනකුගෙන් ධර්ම ශාලාවේදී ශ්‍රී සීලානන්ද දහම් පාසල ආරම්භ කෙරිණ. 1994 අප්‍රේල් 01 වැනිදා මලවිට උඩගම ශ්‍රී බෝධිරුක්ඛාරාමාධිපති පරණකූරු කෝරළයේ ප්‍රධාන සංඝනායක ශ්‍රී සීලානන්ද දහම් පාසලේ ප්‍රධානාචාර්ය මීදෙනියේ ශ්‍රී සීලානන්ද නාහිමියෝ අපවත් වූ තැන් සිට උන් වහන්සේගේ ප්‍රධාන ශිෂ්‍ය හෙට්ටිමුල්ල මිනුවන්ගමුව විද්‍යාවාස මහා පිරිවෙනෙහි පරිවේණාධිපති ශාස්ත්‍රපති නෙළුන්දෙණියේ නන්දසාර ස්වාමීන් වහන්සේ විහාරාධිපති තනතුරට පත් වූහ. ශ්‍රී සීලානන්ද දහම් පාසලේ ප්‍රධානාචාර්ය ධුරයට පත් උන් වහන්සේගේ කාලයේ ශිෂ්‍ය සංඛ්‍යාව එන්න එන්නම වැඩි වීම හේතුවෙන් 2012 වර්ෂයේ ප්‍රදේශයේ දානපතීන්ගේ හා දායක දායිකාවන්ගේ ආධාර උපකාර ඇතිව දෙමහල් ගොඩනැඟිල්ලක් ඉදි කිරීමට ආරම්භ කෙරිණ. එහි පහත මාලය සංඝාවාසයට ද ඉහළ මාලය දහම් පාසලට ද වෙන් කෙරිණ.
පසුව ගොඩනැඟිල්ල ඉදිකිරීම් කටයුතු ආරම්භ කර පහත සංඝාවාස කොටසේ ඉදි කිරීම් වැඩ කටයුතු අවසන් කර සංඝාවාස කොටස 2016 වර්ෂයේ දී විවෘත කෙරිණ. දහම් පාසල පවත්වාගෙන යාමේ අරමුණින් දෙමහල් ගොඩනැඟිල්ලේ ඉහළ මාලයේ කොන්ක්‍රීට් කණු ඉදි කරමින් සිටින අවස්ථාවේ දී විහාරාධිපති හිමියෝ අපවත් වූහ. එතැන් සිට උන් වහන්සේගේ ප්‍රධාන ශිෂ්‍ය දැනට 21 හැවිරිදි කන්දේගම වංගීස ස්වාමීන් වහන්සේ විහාරස්ථානයේ විහාරාධිකාරී හා ශ්‍රී සීලානන්ද දහම් පාසලේ ප්‍රධානාචාර්ය තනතුරට පත් වූහ. උන් වහන්සේ ශ්‍රී සීලානන්ද දහම් පාසලේ ප්‍රධානාචාර්ය තනතුරට පත් වීමෙන් පසුව මලවිට උඩගම හා මලවිට පල්ලේගම ගම් දෙකෙහි සියලු දරුවන් දහම් පාසලට පැමිණීම නිසාවෙන් මේ වන විට දරු දැරියන් 160කට ආසන්න පිරිසක් ඉෙගනුම ලබන අතර ගුරු මහත්ම මහත්මීහු 12 දෙනෙක් ද සේවය කරති.
2017 සිට අතරමඟ ඉදි කිරීම් කටයුතු නැවතී ඇති දෙමහල් ගොඩනැඟිල්ලේ ඉහළ මාලය වර්තමානයේ නටබුන් බවට පත්ව තිබේ.
දරුවන් වැඩි සංඛ්‍යාවක් ඉගනුම ලැබීම නිසාවෙන් ධර්ම ශාලා ගොඩනැඟිල්ලේ පහසුකම් අඩු නිසා පංති කිහිපයක් අතරමඟ නවතා දමා ඇති දහම් පාසල් ගොඩනැඟිල්ලේ පැදුරු එලා ගෙන ඉෙගනුම ලබන අයුරු දක්නට ලැබුණි. තවත් දරුවන් පිරිසක් බෝ මළුවේ ඉෙගනුම ලබන අයුරුත් දක්නට ලැබුණි. වැසි දිනවල මෙම දහම් පාසල පවත්වාගෙන යෑම ඉතා අසීරු වන්නේ පංති පැවැත්වීමට සුදුසු ස්ථානයක්වත් නොමැති නිසාය. මේ හේතුවෙන් දහම් පාසල් ගොඩනැඟිල්ලේ කටයුතු කඩිනමින් අවසන් කර ගැනීමට ඔවුහු උපකාර බලාපොරොත්තු වෙති.076 739 1669 ස්වාමීන් වහන්සේ ඇමතීමෙන් වැඩි විස්තර ලබා ගත හැකිය.
කෑගල්ල විශේෂ චමින්ද ජයලත්