ලක්ෂ එකසිය පනහක් වැය කරමින් ගාල්ල කරන්දෙණිය හිපන්කන්ද ග්‍රාමසේවා වසමේ ආරම්භ කරනු ලැබූ සෞභාග්‍ය අගය එකතු කළ කුරුඳු නිෂ්පාදන ආදර්ශ ගම්මානය ඉතා සාර්ථකව සිය ඉදිරි ගමන ගෙන යන බවක් දක්නට ලැබේ.
ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්තා අනුව පළාත් ලංකාවේ කුරුඳු නිෂ්පාදනයට ඉහළම දායකත්වයන් ලබා දෙනුයේ මෙම ග්‍රාම සේවා කොට්ඨාසය ය. මෙහි වසන 1882ක් වූ ජනගහනයෙන් සියයට හතළිස් එකක් මෙම කුරුඳු කර්මාන්තය සිය ජීවනෝපාය කරගෙන ඇත.
මෙහි සිටින මුළු පවුල් ගණන 496ක් වන අතර, ඉන් සියයට 85ක්ම කුරුඳු වගා කරති. මේ සඳහා අක්කර 135ක් වෙන්ව ඇති අතර මේ වන විට ඒවා සාර්ථක වගාවක් බවට පත්ව තිබේ.
මෙම ගම්මානයේ සකස් කොට ඇති විවිධ කර්මාන්තයන් අතර කුරුඳු තැලීම, කොළ වියළීම, කුරුඳු කට්ට හා පතුරු සකස් කිරීම් ආදී සාම්ප්‍රදායික කටයුතුවලට අමතරව කුරුඳු පවුඩර් ලීවලින් විසිතුරු මල් සැකසීම, ඖෂධීය පාන තෙල්, කුරුඳු තේ, හඳුන්කූරු, සුවඳධූප ආදී නව කර්මාන්තයන් ද කර ගෙන යමින් ඇත.මේ වනවිටත් මෙම අපනයන ගම්මානයෙන් අපනයන ව්‍යවසායකයෝ රැසක් ද එක්ව සිටිති.
ගාල්ල දිසා සමූහ – නන්දසිරි වැලිගමගේ