Home » කල්පිටියේ සරුංගල් පැදිල්ලත් වළපල්ලට

කල්පිටියේ සරුංගල් පැදිල්ලත් වළපල්ලට

by sachintha
September 18, 2023 1:40 am 0 comment

කල්පිටිය කියූ සැණින් කාගෙත් මතකය අවදිවන්නේ දූපත් සතකින් සැදුම්ලත් දූපත් වළල්ල පිහිටා තිබීම නිසාවෙනි. ඒ නිසාවෙන් කල්පිටිය දෙස් විදෙස් සංචාරකයින්ගේ මනදොළ පිනවන සොඳුරු පාරාදීසයක් සේම සුන්දර වෙරළ තීරයකින් සැදුම්ලත් අතිරමණීය සංචාරක තෝතැන්නක් ලෙස හැඳින්විය හැකිය.

ඒ අනුව ලෝකයේ සෑම රටක සිටම මෙරටට පැමිණෙන විදේශීය සංචාරකයින් මෙහි පැමිණීමට බලපාන ප්‍රධාන සාධකය බවට පත්ව ඇත්තේ කයිට් සර්ෆින් හෙවත් සරුංගල් ක්‍රීඩාවට සුදුසුම ස්ථානය ලෙස සැලකෙන කල්පිටිය, කන්දකුලිය ලැගෝන් එහි පිහිටා තිබීමයි.

ඒ අනුව දිනකට විදේශීය සංචාරකයින් 500කට ආසන්න පිරිසක් මෙහි පැමිණ සරුංගල් ක්‍රීඩාව ඇතුළුව ජල ක්‍රීඩා රැසක් සිදු කරමින් මොවුන් කොරල්පර, මුහුදු ශාක මෙන්ම ඩොල්ෆින් මසුන්ද නරඹා කෙටි කාලීනව දීර්ඝ සතුටක් ලබන බව පැවසෙනවා.

ඒ අනුව මෙහි පැමිණෙන දෙස් විදෙස් සංචාරකයින්ට ප්‍රමාණවත් පහසුකම් කිසිවක් මේ වන තුරු නිශ්චිත වශයෙන්ම ඉටු නොවීම සමස්ත සංචාරක කර්මාන්තයටම බලපාන ගැටලුවක්ව තිබේ. ඒ හේතුව නිසාවෙන් රටට ඩොලර් ගෙනෙන සංචාරකයින් අද වන විට කල්පිටියේ ලාහට මැඩියන් සොයනවා සේ පත්ව තිබේ.

එයට බලපා ඇති ප්‍රධානතම හේතුව ලෙස සංචාරකයින් පෙන්වා දෙන්නේ තමන් නිදහසේ විනෝද වීම පිණිස විශාල මුදලක් වැය කර මෙම කයිට් සර්ෆින් හෙවත් සරුංගල් ක්‍රීඩාවේ නියැළීමට දැඩි රුචිකත්වයක් දක්වමින් ශ්‍රී ලංකාවට පැමිණ පසුව කල්පිටිය දක්වා ඒම සිදු කරන්නේ මුල් කාලීනව කල්පිටි, කන්දකුලිය සී. ලැගෝන් ප්‍රදේශය අතිශයින්ම ජනප්‍රිය ස්ථානයක්ව තිබුණ ද, මේ වන විට එහි තමන්ට නිදහසේ සරුංගල් ක්‍රීඩාවේ නිරත වීමට තරම් ප්‍රමාණවත් පහසුකම් එහි නොමැති බවයි.

සරුංගල් ක්‍රීඩාවේ යෙදෙන සී බාත් එක ආවරණය වන පරිදි තැනින් තැන කූඩාරම් වැනි ඉදිකිරීම් මෙන්ම ධීවර වාඩි සහ සුළං බලාගාර ඉදිකර තිබීම නිසාවෙන් තමන්ට අවශ්‍ය සුළං නිසි අයුරින් නොලැබීම හේතුවෙන් මෙම ක්‍රීඩාවේ නිදහසේ නිරත වීමට නොහැකි බවයි. තවද මෙම හේතූන් නිසාවෙන් සුළං කඩින් කඩ හැමීමක් සිදුවන බැවින් මෙම ක්‍රිඩාවේ නිරතවන ක්‍රිඩකයින් දැඩි ලෙස අනතුරුවලට පත්වීමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙන බව කියයි.

එපමණක්ද නොව කල්පිටිය කන්දකුලිය ප්‍රදේශයේ සංචාරකයින් වෙනුවෙන් විවෘත කර ඇති සංචාරක නිකේතන, හෝටල් සහ සම්බාහන මධ්‍යස්ථාන අවට ගම්වාසීන් විසින් බලහත්කාරයෙන් අත්පත් කරගෙන කුඩා පැල්පත් සහ ධීවර වාඩි ඉදිකර ඒ තුළ මත්පැන් භාවිත කරමින් පරුෂ වචන පවසමින් කලහකාරී ලෙස හැසිරීම හේතුවෙන් විදේශීය සංචාරකයින් දැඩි බියට පත්ව නැවත එම ප්‍රදේශයේ සංචාරක කටයුතු සඳහා නොපැමිණෙන බව කියයි.

තවද රටට ඩොලර් ගෙන එන සංචාරක කර්මාන්තයේ මරමස්ථානයක් වූ කල්පිටිය දැක බලා ගැනීමට පැමිණෙන සංචාරයින් බහුතරයක් මේ වන විට දැඩි පීඩාවට පත්ව ඇත්තේ ඔවුන් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ සිට කල්පිටියට පැය එක හමාරක් වැනි කාලයකින් ලඟාවුවද, කල්පිටියේ සිට සංචාරක නිකේතන හෝ නැරඹුම් ස්ථාන කරා කිලෝමීටර් දෙකක් යෑමට පැයක් වැනි කාලයක් මොවුන්ට ගත වන බව පැවසෙනවා. එයට බලපා ඇති ප්‍රධාන හේතුව ලෙස ඔවුන් පවසන්නේ ගමන්ට කිරීමට උචිත අයුරින් මාර්ග පද්ධතියක් මේ වන තුරු ඉදිකර නොමැති බවයි. තවද මැසි මදුරු ග්‍රහණය සිය සංචාරක කටයුතුවලට දැඩි බලපෑම් එල්ල කරන නිසාවෙන් නැවත වතාවක් කල්පිටියට පැමිණීමට තමන් තුළ කැමැත්තක් නොමැති බව කනගාටුවෙන් වුවද ප්‍රකාශ කළ යුතු බව ඔවුන් පවසයි.

රටට ඩොලර් ගෙනෙන මේ සංචාරක කර්මාන්තයේ කශේරුකාව නැතහොත් මුදුන් මුල පිහිටා ඇත්තේ කල්පිටිය නම් වූ අති රමණීය වෙරළ තීරය ආශ්‍රයෙන් වුවද අද වන විට කල්පිටියට අත්ව ඇත්තේ ඛේදනීය ඉරණමකි. මිනිසාගේ නොමිනිස් ක්‍රියාකාරකමක අතුරුඵලයක් ලෙස එහි සුන්දරත්වය වලපල්ලට යවා හමාරය. වැලි රොඩු දූවිලි මතින් ගොඩනැගුණ මුඩු බිමක් නුදුරේදී දැක බලා ගැනීමට ඉඩ ප්‍රස්ථාව සැලසෙමින් තිබේ.

වනාතවිල්ලුව සමූහ – කේ. ප්‍රියංකර කළුපහන

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT