හාලිඇළ නගරයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට දී ඊයේ (17) අලුයම වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන තාප්පයක ගැටීමෙන් එකම පවුලේ මව, පියා ඇතුළු හයදෙනෙකු තුවාල ලබා බදුල්ල මහ රෝහලට ඇතුළත් කළ බව හාලිඇළ පොලිසිය පවසයි.
අනතුරින් තුවාල ලබා ඇත්තේ බණ්ඩාරවෙල වැලිමඩ පාර, ගස්වත්ත ප්‍රදේශයේ පදිංචි එකම පවුලේ පියා (56), මව (51), අවුරුදු 15, 23, 25 වයසේ පසුවෙන දියණියන් තිදෙනකු සහ දෙමෝදර නෙදර්විල්වත්ත පදිංචි 65 හැවිරිදි සහෝදරියක බවද පොලිසිය පැවසීය.
මොවුන් ලුණුගල ප්‍රදේශයේ නැදෑ නිවෙසකට ගොස් ආපසු බණ්ඩාරවෙල බලා වෑන් රථයෙන් ගමන් කරමින් සිටියදී ඊයේ (17) අලුයම මෙසේ අනතුරට මුහුණ පා ඇතැයි පොලිසිය පැවසීය.
මෙම වෑන් රථය පියා පදවා ගෙන ගොස් ඇති අතර මොහුට නින්ද යාම නිසාවෙන් අනතුර සිදු වන්නට ඇති බවට පොලිසිය සැකකරයි.
අනතුරින් තුවාල ලැබූවන්ගෙ තත්ත්වය තරමක් බරපතළ බව රෝහල් ප්‍රකාශකයකු පැවසීය.
වෑන් රථය තාප්පයේ ගැටීමෙන් වෑන් රථයට දැඩි ලෙස අලාභහානි වී ඇති අතර, හාලිඇළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අසල තාප්පයටද හානි සිදුවී තිබේ. බදුල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සුජිත් වෙදමුල්ල, පොලිස් අධිකාරී පී. එම්. ජයරත්න යන මහත්වරුන්ගේ උපදෙස් මත හාලිඇළ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රුවන් ගුණතිලක, රථවාහන අංශයේ ස්ථානාධිපති පොලිස් සැරයන් (62830) ආනන්ද, (54086) නයනකුමාර යන මහත්වරුන් ඇතුළු නිලධාරීහු වැඩිදුර පරික්ෂණ පවත්වති.
සී. ගමගේ – සොරණාතොට සමූහ සහ හාලිඇල සමූහ