බොල්ගොඩ ගඟට සිදුකළ පරිසර හානිය මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරීන්ට පෙන්වීමට ගිය අවස්ථාවේ දී හදිසියේ මියගිය තිදරු පියකු වූ සුමිත් සිල්වා මහතාගේ අවසන් කටයුතු පෙරේදා (16) සවස බොල්ගොඩ පොදු සුසාන භූමියේ දී සිදු කෙරිණි. සුමිත් සිල්වා මහතාගේ බොල්ගොඩ නිවසේ දී මහා සංඝයා වහන්සේ වැඩමවා ආගමානුකූලව කටයුතු සිදුකිරීමෙන් අනතුරුව විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් බොල්ගොඩ පොදු සුසාන භූමිය කරා දේහය රැගෙන ඒමෙන් අනතුරුව මිහිදන් කිරීම සිදු කිරීමෙන් අනතුරුව එම පිරිස හොරණ පානදුර මාර්ගයේ එම හෝටලයට හැරෙන මාර්ගය අසල විරෝධතා පුවරු රැගෙන සිය විරෝධය පළ කළහ.
අනතුරුව මියගිය සුමිත් සිල්වා මහතාගේ ඡායාරූපය පෙරටු කර හොරණ පානදුර මාර්ගයේ හරහා ගොස් හෝටලය ඉදිරිපිට රැඳී සිට පැය බාගෙට අධික කාලයක් එහි විරෝධතාව යෙදෙමින් මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරීන්ට සහ බණ්ඩාරගම ප්‍රාදේශිය සභාවට, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට පොලිසියට හෝටලයට සිය විරෝධය පළ කළහ.
පෙරේදා (16) දින දහවල් බණ්ඩාරගම ප්‍රාදේශීය සභාව සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය එක්ව හෝටල් පරිශ්‍රය තුළ සහ හෝටලය තුළ දැඩි පරීක්ෂාවට ලක් කළ කළ අතර එහිදී හෝටල් පරිශ්‍රය තුළ සිට බොල්ගොඩ ගඟට භූගතව බට යොදා අප ජලය බැහැර කර ඇති බවට අනාවරණය විය. මෙම හෝටලය මගින් බොල්ගොඩ ගඟ රක්ෂිතයේ අනවසර ඉදිකිරීම් සිදුකර ඇති බවත් ඒවා ඉවත් කිරීමට කටයුතු කරන බවත් බණ්ඩාරගම ප්‍රාදේශීය සභාවේ වැඩ අධිකාරි නිශාන්ත සිල්වා මහතා පැවසීය.
හෝටලයට විරුද්ධව තහනම් නියෝගයක් ලබාගැනීමට කටයුතු කළ බවත් ඒ සම්බන්ධයෙන් පැවරුම් නඩුව අද (18) දින ද පානදුර මහේස්ත්‍රාත් අධිකරණයේ දී විභාග වීමට නියමිත බවත් පාණදුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සමන්ත වෙදගේ මහතා පැවසීය.
බණ්ඩාරගම බිමල් ජයසිංහ