Saturday, May 10, 2025
Home » ජාතියට පණ දෙන්නට අපරිමිත කැපවීම් කළ කතානායකයාණෝ….

ජාතියට පණ දෙන්නට අපරිමිත කැපවීම් කළ කතානායකයාණෝ….

-අනගාරික ධර්මපාලතුමාගේ 159 වැනි ජන්ම දිනය නිමිත්තෙනි.

by sachintha
September 18, 2023 3:54 am 0 comment

සමාජ, සංස්කෘතික, ආගමික ආදී විවිධ අංශවල වූ පරිහානියට ප්‍රතිකර්ම යෙදීම උදෙසා, තමන් ස්වකීය දිවියම බුදු දහමේ උන්නතිය උදෙසා කැප කිරීමට අධිෂ්ඨාන කර ගත් බවත්, තමාට ගිහි ගෙයින් ඵලක් නැති බවත්, අනගාරිකව විසීමට අවසර දෙන ලෙසත් ඉල්ලමින් 1886 ජනවාරි 12 වන දින ඉහත ලිපිය යොමු කිරීමට තුරුණු වියේ පසු වූ හෙතෙම ඉටා ගත්තේය.

ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමන්ගේ 159 වැනි ජන්ම දින සැමරුම ඊයේ (17) දිනට යෙදිණ. බුද්ධශාසන අමාත්‍යාංශය, මහාබෝධි සංගමය, බෝසත් දම්පල් හරසර පදනම ඇතුළු අනගාරික ධර්මපාල දර්ශනය ඉදිරියට ගෙන යන භික්ෂුන් වහන්සේලා, ගිහි පින්වතුන් රැසකගේ සහභාගීත්වයෙන් මේ ජන්ම දින සැමරුම සිදු කෙරිණි. ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමන් ඇතුළු එතුමන්ගේ දර්ශනය ඉදිරියට ගෙන යන සියල්ලන්ට මේ ලිපිය උපහාරයක්ම වනු ඇත.

දයාබර පියාණෙනි, මෑණියනි,

” එක් පුද්ගලයකුගේ නොව, සියලු ලෝක සත්ත්වයාගේ සැප ප්‍රාර්ථනා කරන මට, ඔවුන්ගේ දියුණුවට වැඩ කිරීමට ඉඩ දෙනු මැනවි. මට ලෞකික සැපයක් ඕනෑ නො කරයි. ම විසින් දොහොත් මුදුන් දී ඉල්ලන ඉල්ලීමට බාධා නො පමුණුවා චිත්ත ප්‍රීතියෙන් එය මට දෙන හැටියට මම ඉල්ලමි. ඒ මෙයයි, මට ඕනෑ කරන්නේ සම්පූර්ණයෙන් මාගේ කාලය බුද්ධාගමේ දියුණුව පිණිස වැඩ කරන්නටයි. මගේ ජීවිකාව ආරක්ෂා කර ගැනුමට මසකට රුපියල් පහක් ලැබෙන්නටත් ඉල්ලමි. මේ ඉල්ලීම ඉෂ්ට කළොත්, අප සියල්ලන්ගේ ම නිවන් මාර්ගය ලෙහෙසි වේ. ඒ නිසා බාධා නො පමුණුවා ඉල්ලීම ඉෂ්ට කරනු ලැබේවා. සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් අප බෝධිසත්ත්වයන් වහන්සේ ලෝක සත්ත්වයා නිසා දුක් වින්දා නම්, පුළුවන් පමණක් ලෝක සත්ත්වයාගේ දියුණුවට වැඩ කරන්නට අපට නො හැකිද? ”

මේ ලිපිය ලැබූ, අනගාරික ධර්මපාලතුමන්ගේ පියා, එච්. දොන් කරෝලිස් හේවාවිතාරණ​ය​. ඔහු මාතර, හිත්තැටිය ගමේ සිට කොළඹට සංක්‍රමණය වූ මුදලි කෙනෙකි. මව​, අන්දිරිස් පෙරේරා ධර්ම ගුණවර්ධනගේ දියණිය වූ, මල්ලිකා හේවාවිතාරණ (විවාහයට පෙර මල්ලිකා ධර්ම ගුණවර්ධන​) ය​. ඔහුගේ සහෝදරයෝ වූ, එඩ්මන් හේවාවිතාරණ​, සයිමන් හේවාවිතාරණ හා සී. ඒ. හේවාවිතාරණ ද බ්‍රිතාන්‍ය පාලන සමයේ ලංකාවේ කැපී පෙණුනු චරිතයෝ වූහ​.

අනගාරිකව විසීම

එහෙත්, එවකටත් සමාජ, සංස්කෘතික, ආගමික ආදී විවිධ අංශවල වූ පරිහානියට ප්‍රතිකර්ම යෙදීම උදෙසා, තමන් ස්වකීය දිවියම බුදු දහමේ උන්නතිය උදෙසා කැප කිරීමට අධිෂ්ඨාන කර ගත් බවත්, තමාට ගිහි ගෙයින් ඵලක් නැති බවත්, අනගාරිකව විසීමට අවසර දෙන ලෙසත් ඉල්ලමින් 1886 ජනවාරි 12 වන දින ඉහත ලිපිය යොමු කිරීමට තුරුණු වියේ පසු වූ හෙතෙම ඉටා ගත්තේය. එසේම, දොන් ඩේවිඩ් යන විදේශික නාමය අත හැර දමා, ධර්මපාල හේවාවිතාරණ යන සිංහල නම භාවිත කරන්නටත් පටන් ගත්තේය​. ඔහු ගත කළ බ්‍රහ්මචාරී දිවිය නිසා ‘අනගාරික’ යන පෙර ඈඳිය ඔහුගේ නමට එක් විය​. එසේම, පූජ්‍ය, හික්කඩුවේ සුමංගල හිමියන්ගේ කරුණු පහදා දීමකින් අනතුරුව, ධර්මපාල හේවාවිතාරණගේ පියා, ඩේවිඩ් හේවාවිතාරණ පුතුට අනගාරික වීමට අවසර ලබා දුන්නේය.

එමෙන්ම, හේ ක්‍රිස්තියානි මිෂනාරි බලපෑම්වලට එරෙහි බෞද්ධ ප්‍රතිරෝධයක් නිර්මාණය කිරීමට කැපී පෙනෙන කාර්ය භාරයක් ඉටු කළේ ය​. ඉන්දියාවේ බුදු දහම ශත වර්ෂ ගණනාවක පටන් බිඳ​ වැටි තිබූ සමයක එය පුනර්ජීවනය කිරීමටත් අනගාරික ධර්මපාලතුමා පුරෝගාමී විය. බුද්ධ ධර්මය ආසියාව, උතුරු ඇමරිකා හා යුරෝපා මහද්වීප තුනේ ම දේශනා කිරීමට මුල්වූ පළමු බෞද්ධයාද ඔහුමය. වයස අවුරුදු 30 පමණ වන විට ඔහු බුදු දහම ලොව පුරා ගෙනයෑමේ ප්‍රධාන චරිතයක් බවටත් අද අපේ කතානායකයා පත්ව සිටියේය. එසේම ඔහු ශ්‍රී ලංකාව තුළ ඉස්පිරිතාල ද ඉන්දියාව තුළ පාසල් හා විහාර ද ඉදි කිරිමට අවධානය යොමු කළේය. ජීවිතයේ අවසාන භාගයේ දී, සිරි දේවමිත්ත ධම්මපාල යන පැවිදි නාමයෙන් බෞද්ධ භික්‍ෂු ශාසනයට ද ඇතුළු වූයේය​.

රට පුරා සංචාරය

තවද, වයස අවුරුදු 16 දී, ඩේවිඩ් හේවාවිතාරණට කර්නල් හෙන්රි ස්ටීල් ඕල්කට් හා බ්ලැවට්ස්කි මැතිනිය හඳුනා ගැනීමට ඉඩ සැලසුණි. එසේම, වයස අවුරුදු 19 දී විශේෂ සාමාජිකත්වයකින් පරම විඥානාර්ථ සමාගමටත් ඔහුව බඳවා ගන්නා ලදී. වර්ෂ 1886 දී හෙන්රි ස්ටීල් ඕල්කට් හා සී. ඩබ්. ලෙඩ්බීටර්, බෞද්ධ අධ්‍යාපන අරමුදලට ආධාර එකතු කරනු පිණිස ශ්‍රී ලංකාවට පැමිණියහ​. ඔවුන්ගේ භාෂා පරිවර්තක ලෙස කටයුතු කිරීමට ඩේවිඩ් හේවාවිතාරණ අධ්‍යාපන කාර්යාංශයේ ලිපිකරුවෙක් ලෙස කළ රජයේ රැකියාවෙන් ද ඉවත් වුණි. ඒ තරමටම, ඕල්කට්තුමා සමඟ රට පුරා කළ සංචාරය ඔහුගේ ඇස් අරවන්නක් විය​. සිංහල ජාතියට හා බුදු දහමට​ සිදුව ඇති පරිහානිය එහි දී ඔහු සියැසින් දුටුවේ ය. සැබැවින්ම, වර්ෂ 1872 – 74 දක්වා බැප්ටිස්ට් සිංහල පාසලේත්, 1874 – 76 දක්වා ශාන්ත බෙනඩික්ට් විද්‍යාලයේත්, 1876 – 78 දක්වා කෝට්ටේ ක්‍රිස්තියානි විද්‍යාලයේත්, 1878 – 83 දක්වා ශාන්ත තෝමස් විද්‍යාලයේත් හෙතෙම අධ්‍යාපනය ලැබී ය​. එම පාසල්වලින් ඔහු ලද අධ්‍යාපනය ක්‍රිස්තියානි මිෂනාරි එකක් විය​. එහෙත්, මෙතුමා වර්‍ෂ 1886 සිට 1890 දක්වා කාලය තුළ බෞද්ධ පරම විඥානාර්ථ සංගමයේ බෞද්ධ අංශ​යේ මහ ලේකම්, බෞද්ධ මුද්‍රණාලයේ හා සඳරැස පත්‍රයේ කළමනාකරු, බෞද්ධ පාසල් කළමනාකරු, බෞද්ධ ආරක්‍ෂක කමිටුවේ සහායක ලේකම් යනාදී තනතුරු දරන ලදී.

ක්‍රිස්තියානි බලපෑමෙන් ජපන් බුදු දහම ආරක්‍ෂා කර ගැනීමේ අරමුණින් සෙන්‍ෂිරෝ නෞගචි ඕල්කට්තුමාට ජපානයට කළ ආරාධනාවක් අනුව ඔහු 1889 ජනවාරි 10 වන දින ධර්මපාලතුමා සමඟ ජපානය බලා පිටත්ව ගියේ ය​. ශ්‍රී ලංකාවෙන් ජපානයට ගිය ප්‍රථම ධර්ම දූතයා වශයෙන් සැලකෙන්නේ ධර්මපාලතුමා ය​. එහි දී පැවැත් වූ ජපන් බෞද්ධ මහා සම්මේලනයේ දී බෞද්ධ කොඩිය ප්‍රථම වරට පෙරදිග රටක ප්‍රදර්ශනය කරන ලදි.

බුද්ධගයාව බෞද්ධයන්ට

1890 වසරේ දෙසැම්බර් 05 වන දින ධර්මපාලතුමා, ජපන් ජාතික ගුණරතන කොජේන් භික්‍ෂුව සමඟ බෝධිගයාව වන්දනා කිරීමට ඉන්දියාව බලා කොළඹින් පිටත් විය​. එවකටත් බුද්ධගයා මහා විහාරයේ තැන්පත් කොට තිබූ බුද්ධ ප්‍රතිමාවට හින්දු වත් පිළිවෙත් අනුව පුද පූජාවන් පැවතෙමින් තිබිණි. බුද්ධගයා මහා විහාරයේ භාරකාරයාව සිටි හේමනාරායන ගිරි නම් මහන්තා සිතා සිටියේ බුදුන්වහන්සේ ශිව භක්තිකයෙකු බවයි. ධර්මපාලතුමා මෙය සැලකුවේ බුදුන්ට කරන අගෞරවයක් වශයෙනි. ගුණරතන කොජේන් භික්‍ෂුව බෝධිගයාවේ තාවකාලිකව නවතා, කෙටි බුරුම සංචාරයකින් අනතුරුව ධර්මපාලතුමා නැවත ශ්‍රී ලංකාවට පැමිණියේ ය. 1891 මැයි 31 වන දින, බුද්ධගයාව බෞද්ධයන් සතු කර ගැනීමේ පරමාර්ථය පෙර දැරි කොට ගෙන​, බුද්ධගයා මහා බෝධි සංගමය ආරම්භ කරන ලදී. මේ හේතුවෙන්, සියලු ආගම් හා ජාතීන් සමානත්වයෙහිලා සැලකූ ඕල්කට්තුමා, හා ධර්මපාලතුමා අතර විරසකයක් ඇතිවිණි.

බෝධිගයා මහා නඩුව යන නමින් ප්‍රකට වූ දීර්ඝ නඩු විභාගය 1906 දී අවසන් වූයේ ධර්මපාලතුමා පරාජයට පත් කරමිනි. ඉන් අධෛර්ය නොවූ ඔහු බුද්ධගයාව බෞද්ධයන් සතු කර ගැනීමේ සටන අඛණ්ඩව ම ඉදිරියට ගෙන ගියේ ය​. ඔහුගේ අභාවයෙන් පසුව​, බෞද්ධ හින්දු දෙපාර්ශ්වයෙන් ම හතර දෙනා බැඟින් නියෝජනය වන කමිටුවකින් බුද්ධගයාව පාලනය විය යුතු බවට නියම වෙමින් 1949 දී බුද්ධගයා පනත සම්මත විය​.

මහා බෝධි සඟරාව

1921 දී ධර්මරාජික විහාරයත්, 1931 දී මූලගන්ධකුටි විහාරයත් ඉන්දියාවේ ඉදි කරවන ලදී. ධර්මපාල මැතිතුමාගේ උත්සාහය නිසා බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණ භූමි භාගය (කුසිනාරා නුවර) නැවතත් බෞද්ධයන්ගේ ආකර්ෂණයට ලක්විය. ඉංග්‍රීසි මහා බෝධි සඟරාව කියවීමෙන් පසුව​, චිකාගෝ දෘෂ්ටි සම්මේලනයේ සම්පාදක බරෝස්, ධර්මපාලතුමාට 1893 දී චිකාගෝ නුවර පැවති දෘෂ්ටි සම්මේලනයට ආරාධනා කළේය​.

තවද බුදු දහම ප්‍රචාරය කිරීමට​, සිංහල හා හින්දු භික්‍ෂූන් කිහිප නමක් එංගලන්තයට යවන ලදී. ලන්ඩන් මහාබෝධි සංගමය​, බ්‍රිතාන්‍ය බෞද්ධයා නම්, ඉංග්‍රීසි සඟරාව ඇරඹීය​. දොන් ඩේවිඩ් හේවාවිතාරණ ලෙස වර්ෂ 1864 සැප්තැම්බර් 17 දින ඉපිද පසුව ධර්මපාල නමින් අනගාරික දිවියක් ගත කර සිරි දේවමිත්ත ධර්මපාල නමින් පැවිදි වූ මේ මහා පඬිරුවන, බෞද්ධ ධර්ම ප්‍රචාරකයෙක් හා ශ්‍රී ලංකා නිදහස් සටනේ පුරෝගාමියෙක් ද විය. ඒ මහා පඬිරුවන වර්ෂ 1933දී සදහටම දෙනෙත් පියා ගත්හ.

 

නුවන් මහේෂ් ජයවික්‍රම

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT