Home » වැස්සට කඩා වැටුණු නිවෙස සාදා දෙන්න හැදුවත්

වැස්සට කඩා වැටුණු නිවෙස සාදා දෙන්න හැදුවත්

- ඉඩම අයිති පන්සලකට: දරු පවුලට යන එන මං නෑ

by sachintha
September 18, 2023 2:43 am 0 comment

වසර ගණනාවක් තිස්සේ ලෑලිවලින් සැකසූ උළු සෙවිලි කළ තම නිවෙස පවතින වර්ෂාපතනය නිසා ඉකුත් දා හදිසියේම කඩා වැටීම නිසා දරු පවුලක් අසරණ වී උන්හිටිතැන් අහිමිව ඇති පුවත ‘දිනමිණ’ වාර්තා කිරීමෙන් පසු එයට අවධානය යොමුව තිබුණත් ඉඩමේ අයිතිය පිළිබඳ ගැටලුවක් මතු වීමෙන් එම පවුලට ස්ථිර නිවෙසක් සාදා ගැනීමේ බලාපොරොත්තු සුන්ව තිබේ.

වැලිගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මිරිස්ස බණ්ඩරමුල්ල ප්‍රදේශයේ පිහිටි මෙම නිවෙසේ ආර්.පී. ජනක (40) සහ ඔහුගේ බිරිය වන එච්. ඩබ්ලිව්. සුරංගිකා (36) සහ පුතු වන ආර්. පී. පැතුම් (7) සහ ජනක මහතාගේ මව වන බී.එච්. සෝමාවතී (65) යන අය ජීවත් වූහ.

මෙම නිවෙස ලෑලිවලින් සකසා උළු සෙවිලි කර තිබූ අතර වසර පහළොවකට පමණ ආසන්න කාලයක් මෙම නිවෙසේ එම පිරිස ජීවත් වූහ. එහෙත් ඉකුත්දා පැවැති වර්ෂාපතනයෙන් නිවෙස සම්පූර්ණයෙන් කඩා වැටීමට ලක්ව තිබේ.

මේ වනවිට ඉන්න හිටින්න තැනක් පවා අහිමිව මෙම පිරිස ඉතා අසරණ තත්ත්වයට පත්ව තිබේ. කැසිකිළි වැසිකිළි පහසුකම් පවා අහිමිව තිබේ.

ආර්.පී. ජනක රැකියාව ලෙස ධීවර කටයුතුවල යෙදී සිටියද නිවෙස කඩා වැටීමට ලක්වීම නිසා මේ වනවිට ඔහුට රැකියාවට යාමට පවා නොහැකි තත්ත්වයක් උදාවී ඇතැයි ඔහු පවසයි.

කෙසේ වෙතත් මෙම අහිංසක පවුලේ ඉල්ලීම වූයේ ස්ථිර නිවෙසක් සාදා ගැනීම සඳහා ඔවුන්ට පිහිටක් වන ලෙසයි. එහිදි මෙම පුවත පිළිබඳව අප “දිනමිණ” පුවත්පත මඟින් තොරතුරු අනාවරණය කළා.

මෙම සංවේදී පුවත පිළිබඳව බොහෝ දෙනකුගේ අවධානයට ලක් වූ අතර එහිදී එම පිරිස් අතරින් ශාක්‍ය පුත්‍රයෝ ජාතික සංවිධානයේ නිර්මාතෘ හා බඩල්ගම දිවුලපිටිය ශ්‍රී ජයසුමනාරාම පුරාණ විහාරයේ විහාරවාසී පූජ්‍ය බළන්ගොඩ කස්සප හිමියන්ගේ අවධානයට යොමු වූහ. ඒ පිළිබඳව කඩිනමින් තොරතුරු සොයා බලා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සඳහා ඔවුන් පදිංචි ප්‍රදේශය සොයා වැලිගම මිරිස්ස ප්‍රදේශයට උන්වහන්සේ වැඩම කළ අතර අනතුරුව ප්‍රදේශයේ දානපතියන්ගේ සහ සිවිල් ක්‍රියාකාරීන් ගේ සහයෝගය සහ උපකාර ඇතිව නිවෙස ඉදි කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කළ ද එම ඉඩමේ හිමිකාරීත්වය පිළිබඳව ගැටලුවක් නිසා නිවෙස ඉදි කිරීමේ කටයුතු අතරමග නවතා දැමීමට සිදුව තිබේ.

මෙම පවුලේ සාමාජිකයන් සහ එම අවට තවත් පවුල් 5ක් පමණ පදිංචිව සිටින ඉඩම එම ප්‍රදේශයේ විහාරස්ථානයක් සතු බවත් එම විහාරස්ථානයේ විහාරාධිපති ස්වාමීන් වහන්සේ නිවෙස ඉදි කිරීමට විරෝධය දක්වන බවට කරුණු අනාවරණය විය.

එහිදී එම ගැටලුව විසඳා අසරණ පවුල වෙනුවෙන් ස්ථීර නිවෙසක් ඉදි කිරීම සඳහා බළන්ගොඩ කස්සප හිමියන් අවස්ථා කිහිපයක් වැලිගම මිරිස්ස ප්‍රදේශයට වැඩම කොට එහිදී ප්‍රදේශයේ රාජ්‍ය නිලධාරීන් සමඟ සාකච්ඡා කොට විසඳුමක් ලබා ගැනීමට උත්සාහ දැරුවද එම කටයුතුද ව්‍යවර්ථ වී තිබේ.

කෙසේ නමුත් මෙම පවුලේ අය සහ තවත් පවුල් කීපයක පිරිසට ඉන්න තැනක් නොමැති අවස්ථාවකදී මිරිස්ස බණ්ඩරමුල්ල රත්නගිරි රජ මහ විහාරාධිපති කතරගම රාහුල හිමියන් විසින් යම් මුදලකට ඉඩම් ලබා දී ඇති බවත් දැනට වසර පහළොවකට ආසන්න කාලයක් පදිංචිව සිටි බවත් එහිදී විදුලි පහසුකම්, වරිපනම් බදු ගෙවා දමමින් වසර ගණනාවක් තිස්සේ කටයුතු කළ බව එම ජනතාව කියයි.

නමුත් එම තාවකාලික නිවාස අබලන් වීම සමඟ නිවාස ඉදි කිරීමට විහාරාධිපති හිමියන් එරෙහි වෙන බව ජනතාව පවසයි. ඒ අනුව ඉඩමේ පවතින ගැටලුව නිසා නිවාස අහිමි පිරිසට ස්ථීර නිවෙසක් සාදා දීමේ ක්‍රියාදාමය මේ වනවිට ඇනහිට තිබේ.

නමුත් බළන්ගොඩ කස්සප හිමියන්ගේ මූලිකත්වයෙන් දෙස් විදෙස් හිතවතුන්ගේ හා ප්‍රදේශයේ සිවිල් ක්‍රියාකාරීන්ගේ උපකාර මත ලෑලි යොදා තාවකාලික නිවෙසක් ඉදිකර දීමට කටයුතු කළහ.

රත්නගිරි රජ මහ විහාරාධිපති කතරගම රාහුල හිමියන් මෙසේ පවසන ලදී.වසර ගණනාවකට කලින් මේ පිරිසට ඉන්න තැනක් නැති අවස්ථාවේ දී තාවකාලිකව නිවෙසක් ඉදි කර ගන්න මම ඉඩම දුන්නා.

නමුත් මට මේවා අයිති දේවල් නොවේ. බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුට අයිතියි. ඒ නිසා පන්සල සතු ඉඩකඩම් කාටවත් දෙන්න මට අයිතියක් නැහැ. දැන් මේ ප්‍රශ්න සමඟ ගමේ පිරිස එක පැත්තක් වෙලා, මම තනි වෙලා. බලධාරීන් මේකට විසඳුමක් සෙවිය යුතුයි.

වැලිගම ප්‍රාදේශීය ලේකම් එල්.එන්.එස්. මෙන්ඩිස් මහත්මිය මෙසේ පැවසීය. විහාරස්ථානයක් සතු ඉඩමක් වෙනත් අයෙකුට පැවරීමට හෝ දෙන්න කියලා කියන්න මට බලයක් නෑ. නමුත් නිවෙසක් අහිමි පවුලක් හැටියට ඔවුන්ට රජය සතු ඉඩමක් කෙටි කාලයක් තුළ ලබා දීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් සිටිනවා යැයි හෙතෙම පැවසුවා.

 

වැලිගම – අබේවික්‍රම ගුණරත්න

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT