Home » 2024 යල කන්නයේදීත් බරපතල නියඟයක්

2024 යල කන්නයේදීත් බරපතල නියඟයක්

by chanaka
September 19, 2023 12:33 pm 0 comment

2024 යල කන්නයේ දීත් මෙවර යල කන්නයේ මෙන් බරපතල නියඟය සහිත කාලගුණික තත්ත්වයකට මුහුණ පාන්නට සිදුවනු ඇතැයි කාලගුණික අංශ අවධාරණය කර ඇති බැවින් එම කාලගුණික තත්ත්වයට මුහුණ දෙමින් වගා කටයුතු සිදු කිරීමට පියවර ගත යුතුව ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කරන ලද්දේ ඊයේ(18) හම්බන්තොට දී ගොවීන් පිරිසක් හමුවී සාකච්ඡා කළ අවස්ථාවේ දීය.

ඇමතිවරයා එහි දී මෙසේ ද පැවසීය.

මෙවර යල කන්නයේ දී අපි මුහුණ දුන් නියඟය සහිත කාලගුණික තත්ත්වය නිසා අපි හිතුවේ අඩුම තරමින් අක්කර ලක්ෂයක්වත් වගාහානි සිදුවිය හැකි බවයි. නමුත් මේ වනවිට නියඟය නිසා සිදුවූ වගා හානි තක්සේරු කිරීම අවසන් කර තිබෙන බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය සඳහන් කර තිබෙනවා. ඒ අනුව මේ වනවිට වගා හානි සිදුවී ඇති අක්කර ප්‍රමාණය 66,000ක් පමණ බවයි වාර්තා වන්නේ.

එල් නිනෝ ක්‍රියාවලිය හේතුවෙන් පැවැති නියඟය තත්ත්වය වගේම ඉදිරි මාස් කන්නයේ විශාල වර්ෂාවකුත් ලැබිය හැකියි. කාලගුණ විද්‍යා අංශ ප්‍රකාශ කරන්නේ ඇතැම් විට ගංවතුර තත්ත්වයක් වුවත් ඇති විය හැකි බවයි.

මේ නිසා වගා කටයුතු සිදු කිරීමේ දී කළට වේලාවට වගා කටයුතු සිදු කිරීමට ගොවි ජනතාව පියවර ගත යුතුයි. එසේ නොවුහොත් ජලය අපතේ යාමක් මෙන්ම ගංවතුර තත්ත්වයක් ආවොත් විශාල වගා හානියක් නැවත සිදුවිය හැකියි. විශේෂයෙන් ඔක්තෝබර් හා නොවැම්බර් මාස දෙකෙහි විශාල වර්ෂාපතනයක් ලැබිය හැකි බවටත් අනාවැකි පළ වී තිබෙනවා.

ඒ වගේම 2024 යල කන්නයත් අපි දැන් සිටම සැළසුම් කළ යුතුයි. මාස් කන්නයේ දී වැව්වලට ලැබෙන ජලය අරපරෙස්සමින් භාවිතා කිරීම සම්බන්ධව අපි ගොවීන් දැනුම්වත් කළ යුතුයි. ඒ සඳහා වැඩ පිළිවෙළක් සකසන ලෙස මම කෘෂිකර්ම දෙපාර්තමේන්තුවටත්, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවටත් උපදෙස් දූන්නා. මාස් කන්නය සඳහා පැවැත්වෙන කන්න රැස්වීමේ දී සියලු ගොවි නියෝජිතයින් දැනුම්වත් කිරීමට මම බලාපොරොත්තු වෙනවා.

ඒ වගේම මම ගොවි ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ හැකි තරම් වර්ෂා ජලය උපයෝගී කර ගනිමින් වගා කටයුතු අරඹන ලෙසයි. බොහෝ දෙනෙක් ජලාශවලින් ජලය මුදාහරින තෙක් වගා කිරීමට බලා ගෙන සිටිනවා. ඒ නිසා වර්ෂා ජලය උපයෝගී කර ගනිමින් මුළික බිම් සකස් කිරීම සිදු කළහොත් විශාල ජල ප්‍රමාණයක් අපට ඉතිරි කර ගත හැකියි. ඒ වගේම එම ජලය යල කන්නයේ වගාව සඳහා යොදා ගත හැකියි.

මේ සම්බන්ධව ගොවි ජනතාව දැනුවත් කිරීම ගොවි නියෝජිතයින්ගේ වගකීමක්.

නමුත් බොහෝ ගොවි නියෝජිතයෝ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හෝ අනෙකුත් ආයතන විසින් ලබා දෙන පණිවුඩ පහළ සිටින ගොවීන්ට සන්නිවේදනය කරන්නේ නැහැ. ඒක කෘෂිකර්මාන්තයේ දියුණුවට ලොකු බලපෑමක් යැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2023 – All Right Reserved. Designed and Developed by Lakehouse IT