ඉන්දියාවෙන් ක්‍රිකට් කණ්ඩායම පැමිණ සිටියේය. අප යවා තිබුණේ රුවල් ඔරු කණ්ඩායම හෙයින්, ආතක් පාතක් නැතිව හබල් ගසා, කඩුලු සියල්ල බිඳ ගත් වන එතැන තිබුණේ අවසාන මහ තරගයක් නොව පහළොවෙන් පහළ පාසල් කණ්ඩායමක් සමඟ ජාතික කණ්ඩායමක තරගයකි. ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ගොඩගන්න නම්, මේ සියල්ල ‘ට්‍රැශ්’ එකට යවා ‘ඕල් – ඩිලීට්’ කළ යුතුය. ඛෙත්තරාමයේදී කාපු කෑම වනාහි ශ්‍රී ලංකාවේ ක්‍රිකට් බොරැල්ලේ වළ දාපු ගාණ මිස, ක්‍රීඩාවේදී ලබන පරාජයක සේයාවක් නොවේ.
කාලයක් කුරුස ගැසුවේය. ඉඳහිට ක්‍රිකට් ද ගැසුවේය. මහ පාරේ බැස බණ්ඩා කොළඹ ආ ගාණට, ලන්ඩන්හිදී හැසිරුණේය. සූස්ති ගසා පාරේ නැටුවේය. තැනක හැසිරෙන්නට දන්නේ නැත. සල්ලාලකමේ සීමාවක් නැත. සමහරෙක්ගේ කොචර්, පාස්ටර් ජෙරොම්ය.
කොටින්ම ශ්‍රී ලංකා ක්‍රිකට් යනු, පරිපාලනයේ සිටම අල ගොඩකි. වැඩ වරදින විට මෙහෙම කියනවා යැයි සමහරු සිතන්නේය. මේ රටක කතාවක් මිස කේවල් ලෙස ක්‍රීඩාවක් නොවේ. ඉන්දීය ක්‍රිකට් මේ තැනට ගෙන ආවේ පරාජය හමුවේ වියරු වැටුණු ඉන්දීය ප්‍රේක්ෂක ප්‍රජාවය. එවන් ග්‍රාම්‍ය ක්‍රියා, අප උසුලන්නේ නැත්තේ මුත්, ඒවා නොමැත්තේ නම්, ඉන්දියාව ද මේ ගාණට හබල් ගසනවා ඇත. එහෙම බැරි වුණාට වෙනස් පරිපාලන ව්‍යුහයකින් ක්‍රිකට් ගොඩගත හැකිය. ලිබරල් ක්‍රීඩකයා යනු පිස්සු කෙළීමේ උපතය. ලෝකයේ බොහෝ ක්‍රීඩකයෝ ‘ළඟ ළඟ’ සල්ලි මලු ලැබෙන විට විනාශ වෙන්නේය. ප්‍රසිද්ධිය නිසා, සියලු විනාශ මුඛ එකවර විවර වන්නේය. ඒ සියල්ලෙන්ම ඇතුළු වන එකා, නැති නාස්ති කර ගන්නේ තමන්ගේ ජීවිතය නම්, ඒකා පුනරුත්ථාපන ඒකකයක් වෙත යවා ප්‍රතිකාර කළ හැක්කේය. මේ නසන්නේ රටක ක්‍රීඩාව නම්, එය ද හදාගත හැකි දෙයකි.
මේ රටේ සියලු දෙනා එක මිටට ගත හැක්කේ ක්‍රිකට්වලට පමණය. එවන් සමතලා භූමියක් යනු ජාතික ඒකාග්‍රතාවය උදෙසා ඇති ‘එකම ඒකකය’වේ. එය මේ ආකාරයෙන් දවා ගන්නවා කියන්නේ, රටේ ‘ගට’ සුන් බවය.
හෙමිං වේගේ ‘මහල්ලා සහ මුහුද’ හි එන සන්තියාගෝ ඇල්ක පේන්, දැන් අපගේ කතා නායකයා විය යුතුය. මේ මහලු ධීවරයා උතුරු අත්ලන්තික් සාගරයේ ඔරුවක නැඟී නොකඩවා මාළු දඩයමේ ගියේය. ඒත්, පැමිණියේ හිස් අතිනි. වසරෙන් කාලක්ම, මුහුදට කා දමා, ඔහුට බා ගත හැකි වූයේ අවනම්බුව පමණය. ඒ හැර අන් යමක් ඔහුගේ පිත්තේ දැවටුණේ නැත. හරියට අපේ එවුන්ගේ පිත්තේ බෝලය දැවටෙන්නේ නැති ගාණටය. සන්තියාගෝගේ සහයක කොලුවා ද ඔහුව හැර දමා ගියේ “සන්තියාගෝ ඒකාන්තයෙන්ම අවාසනාවන්තයෙක්. ඒ මූසල මිනිහගෙ ඔරුවෙන් උඹ තවත්නම් මූදු යන්න එපා. වෙන ඔරුවකින් පලයන් ” යැයි, දිගින් දිගටම වටපිටාවේ සිටි උන් කියූ බැවිනි.
දින අසූ හතරක කාලයක් ගමෙන් රටෙන් මූසලයා ලෙස නම් ලද සන්තියාගෝ අසූපස් වෙනි දිනයේ මුහුදට බසින්නේ “අද දවස ගැන මට ලොකු විශ්වාසයක් තියෙනවා” යන හැඟීමෙනි.
එක් වරම යොතකට ගැට ගසා තිබුණු කෙවිට තදින් නැමෙන බව දුටු මහල්ලාට, මහ හඬින් කෑ ගැසිණි. ඔහුගේ අධිෂ්ඨානය තරම් මහා විශාල මාළුවෙක් කොක්කේ ඇමිණී සිටියේය.
දැන් ශ්‍රී ලංකා ක්‍රිකට් කියන්නේ සන්තියාගෝගේ මුල් දින අසූ හතර ගත වෙන කාලයේ සිටින අයෙකි. එක්කෝ දණ්ඩනය ය. කොහොමටත් ප්‍රතිසංස්කරණයක් අවශ්‍යමය. එය පිටියට නොව මණ්ඩලය දක්වාම දිග හැරිය යුත්තෙකි. එහෙම කළ හොත් ශ්‍රී ලංකා ක්‍රිකට්හි ‘හෙට දවස ගැන අපට ලොකු විශ්වාසයක්’ තබා ගත හැකිය.
සල්ලි මත්තෙම හැප්පෙමින්, ක්‍රීඩකයන් ද ඉත්තන් බවට පත් කරගෙන මේ ගමනේදී, අපට එහෙම මාළු අසුවන්නේ නැත. සන්තියාගෝ සතුව නොසිඳෙන අධිෂ්ඨානය සහ අනර්ඝ බිළීපිත්තක් විය. දැන් අවශ්‍ය ඒ දෙක ‘ශ්‍රී ලංකා ක්‍රිකට්’ වෙත සවි කිරීමය.
ඉන්දීය ක්‍රිකට් මෙතැනට ආවේ රටේ ප්‍රේක්ෂකයෝ ‘දරාගත නොහැකි තැනට’ පත්වූ පසු, අත්හළ නොහළ නිසාය.
දූෂණ ආදී සියලු ප්‍රශ්න, අවසානයේ ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ගියේය. ඒ අනුව අධිකරණය විසින් ‘ලෝධා කමිටුව’ පත් කළේය. බූදලයක් සේ ඉන්දීය ක්‍රිකට් තලු මර මරා සිටි ගැන්සිය දෙවරක්ම ලෝධා කමිටුවට එරෙහිව අධිකරණයට ගිය ද කමිටුව පත් විය.
ලෝධා කමිටුව පිටියට බැස්සේ, පස්සේය. කර මුලින්ම වැඩේ අල්ලා ගත්තේය. පරිපාලනයේ අද සිටින එකා සේම, විරුද්ධව සිටින එකා ද දෙතැනක හිඳ ක්‍රිකට් කන්නෝය. අර ගැන්සිය යවා මේ ගැන්සිය ගත්තා කියා ප්‍රශ්නය ඉවර වන්නේ නැත. මේ වගේ තැනකදී අවශ්‍ය ප්‍රතිසංස්කරණයන්ය.
ලෝධා කමිටුව දුන් නිර්දේශ ක්‍රියාත්මක කරන ලෙස ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.
කෝලිගේ හෝ රෝහිත් ශර්මාගේ අතේ පිත්ත තිබුණාට මැච් එක දිනන්නේ නැත. ඒ පිටුපස ඇත්තේ, ලෝධා කමිටු වාර්තාව වැනි ‘උගත් පාඩම්’ය. එහෙම ව්‍යායාමයකින් තොරව අප පිටියට බැස ඇත. එවිට හැම දවසක්ම නරක් වන්නේය.
පරාජය අත්දැක ‘අද දවස ගැන මට ලොකු විශ්වාසයක් තියෙනවා’ යැයි පිටියට බැසිය හැක්කේ ‘අර ආකාරයට’ ප්‍රතිසංස්කරණයක් පැමිණියහොත් පමණය. දැන් අප සිටින්නේ ලෝක කුසලානයක් අභියසය. මේ නිසා අද සිටම ‘ලෝධා මොඩල් එක’ ෆලෝ කළ යුතුය.