Home » ජිනීවා මානව හිමිකම් එක්ක මතුවන මොකක්ද මේ ඩයස්පෝරාව…?

ජිනීවා මානව හිමිකම් එක්ක මතුවන මොකක්ද මේ ඩයස්පෝරාව…?

මහාචාර්ය අජන්තා හපුආරච්චි

by gayan
September 19, 2023 4:00 am 0 comment

යස්පෝරාව කියූ සැණින් අප පුරුදු වී සිටින්නේ දෙමළ ඩයස්පෝරාව යන්න අරුත් ගැනීමටයි. ඒ ශ්‍රී ලංකාවෙන් වෙනත් රටවල පදිංචියට ගිය උතුරු නැඟෙනහිර බහුතර දෙමළ ජනයා නිසා එසේ ඩයස්පෝරාව යන්න මේ රටට සමීප විය. ගෝලීය ද්‍රවිඩ සංසදය ලෙස ද එසේ ඔවුන් ජාලගතව අද ලෝකයේ විවිධ රටවල පදිංචි වී ඇති අතර නැවතත් පසුගියදා රජය ඩයස්පෝරාව සමඟ ඩොලර් ගනුදෙනු සඳහා කතා බහක් ඇති වී තිබෙන පසුබිමක් තිබිය දී පාස්කු ප්‍රහාරයේ යළි මතුවීම පිළිබඳව චැනල් 4 නාළිකාවේ ප්‍රචාරය අප දෙපැත්තකින් සිතා බැලිය යුතුය.

රට වෙනුවෙන් තීරණ

පසුගිය කාලයේ ජනතා හඬට ඇහුම්කන් දීමට රජයට සිදු වූ බව අපට අමතකව නැත. මේ උදාහරණය වත්මනයේ පමණක් නොව ඉදිරියටත් තේරුම් ගත යුතු සේම අවධානය යොමු කළ යුතු පාඩමකි. රට වෙනුවෙන් සෑම තීරණයක්ම ගත යුත්තේ රජය පමණක්ම නොවේ. ජනතාව ද ඊට සම්බන්ධ කර ගත යුතුය. ජනතාවත් සමඟ රට වෙනුවෙන් ගත යුතු සෑම තීරණයක්ම ගත යුතුය. රටේ ආර්ථිකය පහතට වැටුණු තැන, ඩයස්පෝරාවෙන් හෝ ඩොලර් ලබාගෙන ගොඩ ඒමට බලන්නේ නම් එය ද මෙතෙක් රට ණය උගුලකට ඇද දැමූ දේශපාලන‍යේම කොටසක් වනු ඇතැයි අපට අනුමාන කළ හැකියි. අතීතයේ විවිධ ආණ්ඩු විසින් එල්. ටී. ටී. ය සමඟ විටින් විට කතා බහ කළ අයුරු මතකයේ ඇතැයි සිතමු. ඇතැම් අවස්ථාවල එල්. ටී. ටී. ය සාම සාකච්ඡා පවත්වමින්, අනෙක් අතට දැඩි ප්‍රහාර එල්ල කළා ද අපට අමතකව නැත. ඒ සිද්ධි ඒ ආකාරයටම නැවත සිදු නොවනු ඇතැයි අප ද විශ්වාස කරමු. ඒ අතර රට වෙනුවෙන් ගන්නා තීරණයේදී ජනතාව ඒ පිළිබඳව දක්වන ප්‍රතිචාර ද සලකා බැලීමට අප රජයට කිව යුත්තෙමු, ඒ, මෙතෙක් කලක් නිදා සිටි වැඩිහිටි අපි දැන්වත් පියවි ලොවට පිවිසීමට නියම කාලය පැමිණ ඇති බව පෙන්වා දෙමු.

ඩයස්පෝරාවේ අර්ථය

පැරණි ග්‍රීක වචනයකින් බිඳී ආ ඩයස්පෝරා (Diaspora) යන්නෙහි මුඛ්‍යාර්ථය වන්නේ විසිරුණු නැතහොත් තැන තැන සිටින scattered මෙන්ම මුල්බිම් අහිමි, මවුබිම් අහිමි ජන කොටස් යන්නයි. එසේ මවුබිම් අහිමි වූයේ ශ්‍රී ලාංකේය ද්‍රවිඩ ජාතිකයන්ට පමණ ද? ජිනීවා මානව හිමිකම් සැසිවලදී මේ ඩයස්පෝරාවලට අපූරු අවස්ථාවක් සෑම වසරකම ලැබෙන බව ඔවුන් හොඳින් දන්නා බැවින්, ඒ කාලවලදී සමීප සිදුවීම් පෙළගස්වා ගැනීමක්ද දැක ගත හැකිය. ඩයස්පෝරා යන්නට මුල් වූ පළමු ජන කාණ්ඩය වූයේ ඊශ්‍රායලයෙන් පිටමං කළ “යුදෙව්” ජන කොටසයි. පැරණි බැබිලෝනියානුවන් විසින් ජුදා නගරය අල්ලාගනු ලැබූයේ ක්‍රි.පු 586දී ය. එසේ අල්ලාගත් පසු එහි සිටි යුදෙව්වන් වහලුන් ලෙසත්, ආගමික වශයෙන් වෙන්කොට තබන පිරිසක් ලෙසත් මොවුන් රටින් පිටමං කර යුරෝපයට දකුණු ඇමරිකාවට යවන ලදී. පසුව මොවුන් මෑතක් වන තෙක්ම වර්ධනය වෙමින් මැලේසියාව, දකුණු අප්‍රිකාව, උතුරු අමෙරිකාව, බටහිර යුරෝපය , අරාබිය වැනි රටවලට පැතිරගොස් ඇත. ඒ නිසා ඩයස්පෝරාව ලෙස මෙසේ මව්බිම අහිමි වූවන් වහලුන් ලෙස පිටුවහල් කිරීම සමාජ පරිණාමය හමුවේ, වෙනස් වී ඇති හා වර්තමානයට පත්වූ ආකාරය අප හඳුනාගත යුත්තේ ඩයස්පෝරා යන්න දෙමළ ජනයාට පමණක් භාවිත නොවන්නක් වන අතර, එසේ වූ බොහෝ ජන කොටස් ලොව විවිධ රටවල විවිධ තත්ත්වයන් යටතේ සිටින ආකාරය හඳුනාගැනීම පිණිසය.

ලෝකයේ අද වන විට ඩයස්පෝරාවට අයත් ජන කොටස් මෙසේයි.

* ඉන්දියානුවන් – මිලියන 17.5

* මැක්සිකෝව – 11.8

* චීනය – 10.7

* රුසියාව – 10.5

* සිරියාව – 8.2

* බංග්ලාදේශය – 7.8

* පාකිස්තානය – 6.3

* යුක්රේනය – 5.9

මේ අනුව ලොව වඩාත්ම පිරිසක් සහිත ඩයස්පෝරාව ඉන්දියානුවන්ය. ඔවුන්ගෙන් බහුතරය චෙන්නායි, පොන්ඩිචෙරි හා ශ්‍රී ලාංකිකයන් ද වේ. මෙහිදී යුක්රේනයේ සරණාගතයන් ලෙස මෑතකදී විවිධ රටවලට ගිය ජනතාව මීට වඩා වැඩි වනු ඇත. ඩයස්පෝරාවට අයත් වන මව්බිම අහිමිවූවන් වර්ග කීපයක්ම සිටින බවත් හඳුනාගත යුතුය. මුල් කාලවලදී යුදෙව්වන් හා අප්‍රිකානුවන් වහලුන් ලෙස රටින් පිටමං වූ අතර, ඇතැමෙක් විවිධ රටවලින් විදේශ ගත වූවන්ද මේ අතර වේ. එසේම තවත් කොටසක් රජයන් හෝ විවිධ හේතු මත රටවලින් පිටුවහල් කරනු ලැබූවන්ද වේ. එසේම සිරියාව වැනි රටවලින් වැඩි වශයෙන් විවිධ රටවලට ගියේ අභ්‍යන්තර ගැටුම් නිසා සරණාගතයන් ලෙසය. එසේම තවත් කොටසක් විවිධ හේතු නිසා වරදකරුවන් ලෙස රටින් පැන ගිය අය වෙති. තවත් කොටසක් රැකියා සොයා විදේශගත වූවන්ය. ඒ නිසා ඩයස්පෝරාවට අයත් ජන කොටස් විවිධ හේතු මත විවිධ රටවල පැතිර ඇති බව අවබෝධ කොට ගත යුතුය. මෙරටින් සිංගප්පූරුවට ගිය අර්ජුන් මහේන්ද්‍ර ද ඩයස්පෝරාවට අයත් වූවෙකි. ඔහු මෙරට වින්දිතයකු ලෙස පලා ගිය ද සිංගප්පූරුවේ පුරවැසි බව තිබීම නිසා ඩයස්පෝරා තත්ත්වයේ ද ප්‍රශ්නයක්ව ඇත. විශේෂයෙන් රැකියා සඳහා විගමනය වූ පිරිස් තුර්කිය, ඉන්දියාව, යුක්රේනය, උගන්ඩාව, වෙනසියුලාව, වියට්නාමය, යේමනය, යුගෝස්ලාවියාව, සිම්බාබ්වේ, යන රටවලින් බහුලව දක්නට ලැබෙන අතර මොවුන් Transnational ethnic diaspora යනුවෙන් ගෝලීය වශයෙන් ද ජාලගතව සිටී. මෙහිදී තම වාර්ගික බව පෙරදැරි කර ගත් අතර ලෝක මට්ටමෙන් ක්‍රියාත්මක වන්නේ එකී වාර්ගිකත්වය මූලික අරමුණු පිණිසය.

අන්තර්ජාතික නීතිය

ශ්‍රී ලාංකික ඩයස්පෝරාව ලෙස ප්‍රධාන වශයෙන් ක්‍රියාත්මක වන්නේ ද්‍රවිඩ ඊළාම් විමුක්ති සංවිධානයට සම්බන්ධව ක්‍රියාත්මක වූ පිරිස් මූලිකවය. මෙකී සංවිධානවලට අන්තර්ජාතික හෝ ජාතික වශයෙන් නීතිමය පිළිගැනීමක්ද නැත. එසේම මොවුන්ගේ අරමුදල් තර කර ගැනීමේදී ඇතැම් විට සරණාගතයන්ගෙන් පවා ඒ සඳහා මුදල් අය කර ගැනීම්ද සිදු විය හැකිය. ඇතැමෙක් අකැමැත්තෙන් වුව ඒ සඳහා දායක වනුද ඇත. ඒ නිසා මේ මුදල්වල පවා ඉතා ශෝචනීය බවක් තිබිය හැකි බව අප අවබෝධකොට ගත යුතුය. ශ්‍රී ලාංකේය ඩයස්පෝරාවේ බහුතර ජනතාව ඇත්තේ කැනඩාවේය. එය මෙසේ දැක්විය හැකියි.

* කැනඩාව -157000

* ස්වීඩනය – 6000

* නෝර්වේ -10000

* මැලේසියාව -24436

* එංගලන්තය -200000

මේ දත්ත වර්තමානය වන විට වෙනස්වීමට ද ලක්වී ඇති බව හඳුනාගත යුතුය. අන්තර්ජාලයේ දැක්වන්නේ මොවුන් විදේශ ගත වී ඇත්තේ ශ්‍රී ලාංකීය රජයන් විසින් ද්‍රවිඩ වාර්ගිකයන්ට වෙනස්කොට සැලැකීම මීට හේතුව යැයි දක්වමිනි. එය බොහෝ විට කතා බහට ලක් කොට ඇත්තේ 1983 සිදුවීම් සමඟිනි. තත්ත්වය එසේ තිබියදී රජය වත්මන් තත්ත්වය පිළිබඳව කටයුතු කිරීම කෙතරම් සුජාත බවකින් කළ යුතු දැයි ප්‍රශ්නයක්ව පවතී. මොවුන් රටේ කුමක් හෝ අස්ථාවර බවක් ඇති විටෙක තම අත පෙවීම් ඊට යොදාගන්නේ නම්, රජය සමඟ ඇති විශ්වාසය කෙතෙක් දුරට අප විශ්වාස කළ යුතුද? එසේම එක් අතකින් අසාධාරණයකට ලක්වූවන් ලෙසත්, තවත් අතකින් වැරැදිකරුවන් ලෙසත්, කොටි සංවීධානයේ ක්‍රියාකරුවන් ලෙසත්, මෙසේ සිටින කණ්ඩායම් කිසිම රටක කිසිදු රජයක් විසින් පිළිගෙන නැත. ගනුදෙනු කළ යුත්තේ අතීත පාඩම් හා දැනට ඔවුන්ගේ විශ්වසනීය බව මූලික කොට ගෙනය.

මානව හිමිකම් සමුළුව

ඩයස්පෝරාවට මෙතෙක් සිටි ආකාරයට සිටීමට ඉඩ හැර, නැති ප්‍රශ්නයක් හදා ගතහොත් ඩොලර්වලට වඩා ප්‍රශ්නයක් ඇති වනු ඇත. එසේම මේ සංවිධාන නීතිමය වශයෙන් කිසිම රටක් පිළි නොගැනීමේදී මේ රටේ බංකොලොත් බවට ඩයස්පෝරා ඩොලර් පිහිටකොට ගැනීමේදී ඒ පිළිබදව දැනුමැති විද්වතුන්ගෙන් විමසීම කළ යුතුය. එසේම කිසිදු රටක් ආර්ථිකයේ අඩියටම වැටුණ ද ඩයස්පෝරාවෙන් යැපීමට දැඩි ලෙස ප්‍රවේසම් වෙති. එසේම ඩයස්පෝරාවෙන් යැපීමට මෙරට කිසිවකුට වුවමනාවක්වත් ද නොමැත. විටෙක ඩයස්පෝරාවෙන් උදවු ගැනීමේ ප්‍රතිඵලවලට මුහුණ දිය යුතු වන්නේ මෙරට ජනතාවටයි. ඒ පිළිබඳව කිසිවකුගේවත් අවධානය යොමු නොවීම කනගාටුවට කරුණකි.

ජාත්‍යන්තරව පිළිතුරු

ජිනීවා මානව හිමිකම් සමුළුව ආසන්න වන විට ශ්‍රී ලංකාවට කුමක් හෝ ප්‍රශ්නයකට ජාත්‍යන්තරව පිළිතුරු දීමට සිදු වන්නේ ඒ පිළිබඳව කිසිදු සූදානමක් කවදාවත්ම මෙරට රජයන්ට නොතිබීමයි. විශේෂයෙන් රට වැටී ඇති මෙවැනි සමයක, රජය පැත්තෙන් කිසිදු ප්‍රතිතර්කණ ඉදිරිපත් කිරීමක ගැඹුරක් දැකිය නොහැක. මේ පිළිබඳව ප්‍රාමාණික දැනුමැති බොහෝ දෙනා සිටියදී මානව හිමිකම් සමුළුවකින් ඉදිරිපත් කරන චෝදනා ප්‍රතික්ෂේප කිරීමක් පමණක් මෙතෙක් සිදු විණි. නමුත්, විය යුත්තේ එසේ නොවේ. නැවත මෙවැනි ප්‍රශ්න මතු නොවීමට ඔප්පු කළ හැකි සාධක සහිත ප්‍රතිතර්කණ counter argument පමණි.

 

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT

Valibal Valibal
x