Home » පොසිල ඉන්ධන භාවිතයට එරෙහිව දහස් සංඛ්‍යාත පිරිසක් නිව්යෝක් නුවරට

පොසිල ඉන්ධන භාවිතයට එරෙහිව දහස් සංඛ්‍යාත පිරිසක් නිව්යෝක් නුවරට

දේශගුණික විපර්යාසවලින් ලොව බේරා ගැනීමට එක්වන්නැයි ලෝක නායකයන්ට බලපෑම්

by gayan
September 19, 2023 1:00 am 0 comment

ඉදිරියේදී ලොව පුරා විරෝධතා රැලි

දේශගුණික විපර්යාසවලින් ලොව බොහෝ රටවල් ස්වාභාවික විපත්වලට සහ පීඩාවට ලක්වෙමින් පවතින මොහොතක පරිසරයට සිදුවන විනාශය වළක්වා ගැනීමට පොසිල ඉන්ධන භාවිතය තුරන් කරන්නැයි ඉල්ලා දහස් ගණනක ජනතාව අමෙරිකාවේ නිව්යෝක් නුවර විරෝධතා රැලියක් ආරම්භ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මේ සතියේ ආරම්භ වීමට නියමිත එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වාර්ෂික මහා මණ්ඩල සැසිවාරයේදී අමෙරිකාවේ ජනාධිපති ජෝ බයිඩ්න් ඇතුළු ලෝක නායකයන්ට ඒ සඳහා කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා ලෙස බල කිරීම මේ විරෝධතා රැලියේ අරමුණ වී ඇතැයි ද වාර්තා වේ.

උෂ්ණත්වය දරාගත නොහැකි තත්ත්වයෙන් ඉහළ යෑමේ අනතුරුදායක දිශාවකට ලෝකය ගමන් කරමින් තිබෙන බව පසුගියදා එක්සත් ජාතීන්ගේ සංවිධානය නිකුත් කළ වාර්තාවකින් අනතුරු අඟවා ඇති අතර, පොසිල ඉන්ධන භාවිතය තුරන් කිරීමට කඩිනම් ක්‍රියාමාර්ග නොගන්නේ නම් එම ඉන්ධන දහනයෙන් ලොවට සිදුවන බලපෑම් සහ ප්‍රතිවිපාක සියලු ජාතීන්ට විඳ දරා ගැනීමට සිදුවනු ඇතැයි කියමින් මේ දැවැන්ත විරෝධතා රැලිය සංවිධාන කර ඇතැයි ද වාර්තා වේ.

නිව්යෝක් නුවරට රැස්වී සිටින ලොව පුරා විවිධ දේශගුණික විපර්යාස සම්බන්ධ සංවිධානවල සාමාජිකයන්ගෙන් මෑන් හට්න් නුවර වීදි පිරී ඉතිරී ගොස් ඇති අතර, ඉහළ යන මුහුදු මට්ටම, ස්වාභාවික විපත් ඇතුළු ව්‍යසන සියල්ලට හේතුව පොසිල ඉන්ධන හා ගෑස් භාවිතය හේතුවෙන් බව කියමින් දේශගුණික හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කරන්නැයි ඉල්ලීමක් ද කර ඇතැයි වාර්තා වේ. සංවිධාන 700ක පමණ පුද්ගලයන් ලක්ෂයකට ආසන්න පිරිසක් මේ රැලියට සහභාගි වී ඇතැයි ද වාර්තා වේ.

ලබන වසරේ සිය දෙවැනි ධුරකාලය අපේක්ෂාවෙන් ජනාධිපතිවරණයට තරග වැදීමට බලාපොරොත්තු වන අමෙරිකාවේ ජනාධිපති ජෝ බයිඩ්න්ට යළි ජනවරමක් අවශ්‍ය නම් වහාම නව ඉන්ධන හා ගෑස් ව්‍යාපෘති අත්හිටුවන ලෙසත් ඔවුන් ඉල්ලා සිටි බව වාර්තා වේ.

ඉදිරියේදී මෙවැනි විරෝධතා රැලි ජර්මනිය, දකුණු කොරියාව, ඉන්දියාව ඇතුළු රටවල් 54ක පැවැත්වීමට ද සැලසුම් කර ඇතැයි වැඩිදුරටත් වාර්තා වේ.

පසුගිය දින 12ක් ඇතුළත විවිධ රටවල ජල ගැලීම්, නාය යෑම්, භූ කම්පන ඇතුළු ස්වාභාවික විපත් සිදුවීමට හේතු වී ඇති දේශගුණික විපර්යාස සඳහා ගෝලීය විසඳුමක් කඩිනමින් ලබා දීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයට බලපෑම් කිරීම එහි අරමුණ වී තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2023 – All Right Reserved. Designed and Developed by Lakehouse IT