Home » ගුරුදෙණියේගුටි කෙළියට පොලිසියේ දෙදෙනකු ඇතුළු හතරක් අත්අඩංගු වට

ගුරුදෙණියේගුටි කෙළියට පොලිසියේ දෙදෙනකු ඇතුළු හතරක් අත්අඩංගු වට

by gayan
September 19, 2023 1:00 am 0 comment

මහනුවර, ගුරුදෙණිය ප්‍රදේශයේ දී බීමතින් ගුටිබැට හුවමාරු කර ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ඇතුළු සිවු දෙනෙක් තලාතුඔය පොලිසිය විසින් ඊයේ (18) සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ.

සැකපිට අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරීන් දෙදෙනා තලාතුඔය පොලිසියට අනුයුක්තව සේවය කරන අතර ඔවුන් හා ගුටිබැට හුවමාරු කරගත් අනෙක් පුද්ගලයන් දෙදෙනා ගුරුදෙණිය ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති.

සැකකරුවන් අතර පොලිස් සැරයන්වරයෙකු හා ආධුනික පොලිස් කොස්තාපල්වරයෙකු සිටින බව පොලිසිය පවසයි.

මොවුන් දෙදෙනා පෙරේදා (17) පස්වරුවේ රාජකාරි නිමකර සිවිල් ඇඳුමින් සැරැසී ගුරුදෙණිය ප්‍රදේශයට ගොස් තිබෙන අතර, ඔවුන් සමඟ තලාතුඔය පොලිසියට අනුයුක්තව රාජකාරි කරන කොට්ඨාස බුද්ධි අංශ කොස්තාපල්වරයකු ද සිට ඇති බව පොලිස් පරීක්ෂණ මඟින් අනාවරණය වී තිබේ.

මෙම පිරිස ගුරුදෙණිය ප්‍රදේශයේ ලී වෙළෙඳ සැලක ඉහළ මාලයේ මත්පැන් පානය කරමින් සිටිය දී බියර් බෝතල් දෙකක් රැගෙන මාර්ගයේ ගමන් ගන්නා තරුණයින් දෙදෙනෙකු ලී වෙළෙඳ සැලේ පහත කොටසේ ස්ථානයකට පැමිණ ඇත්තේ වැස්සෙන් ආරක්ෂා වීම සඳහාය.

වැස්ස නතර නොවීම නිසා ඔවුන් බියර් බෝතල් දෙක එම ස්ථානයේ සිට පානය කරන අයුරුත් එම අවස්ථාවේ ඉහළ මහලේ සිට පැමිණෙන පොලිස් නිලධාරීන් ප්‍රශ්න කර මුලින් එක් තරුණයකුට පහර දෙන ආකාරයත් සී.සී.ටී.වී. දර්ශනවල දක්නට ලැබේ. තරුණයන් ද පොලිස් නිලධාරීන්ට පහර දී තිබෙන අතර, එම අවස්ථාවේ පොලිස් කොස්තාපල්වරයා දිවයන දර්ශන ද සී.සී.ටී.වී. දර්ශනවල පටිගතව ඇත.

සිද්ධියෙන් පසු පොලිස් නිලධාරීන් දෙදෙනා සහ තරුණයන් දෙදෙනා පෙරේදා (17) රාත්‍රී 11.00ට පමණ පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත්ව තිබේ.

පොලිස් සැරයන්වරයා 17 දින පස්වරු 16.10ට පමණ නි‍ෙවසට යන බව පවසා පොලිසියෙන් පිටව ගොස් තිබෙන අතර, ආධුනික පොලිස් කොස්තාපල්වරයා අදාළ ස්ථානයට ගොස් ඇත්තේ තනිකඩ භට නිවාසයේ සිට ය. තලාතුඔය පොලිසිය බී වාර්තාවක් මඟින් අධිකරණයට කරුණු වාර්තා කර තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් තලාතුඔය පොලිසිය පරීක්ෂණ පවත්වයි.

අසේල කුරුළුවංශ සහ ගලහ සමූහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2023 – All Right Reserved. Designed and Developed by Lakehouse IT