Home » පලා යන්නට හැදූ හරක් කටාට සහාය වූ කොස්තාපල්ට කෝටියක මුදලක් දීලා

පලා යන්නට හැදූ හරක් කටාට සහාය වූ කොස්තාපල්ට කෝටියක මුදලක් දීලා

ත්‍රස්ත විමර්ශන ඒ්කකය අධිකරණයට වාර්තා කරයි

by gayan
September 19, 2023 1:00 am 0 comment

ඉන්දියාවටත් පන්නාගෙන යන සැලසුමක්

මස්සිනාටත් ලක්ෂ 20ක්

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ සංවිධානාත්මක අපරාධකරුවෙකු වන නදුන් චින්තක නොහොත් හරක් කටා තමාට පලා යෑමට සහාය වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් කොස්තාපල්වරයාට රුපියල් කෝටියක මුදලක් ලබාදී ඇති බවට කරුණු අනාවරණය වේ.

නදුන් චින්තක නොහොත් හරක් කටා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පන්නාගෙන නීත්‍යනුකූල නොවන මාර්ගයකින් ඉන්දියාවට ගෙන යාම සඳහා අතුරුදන්වූ පොලිස් කොස්තාපල්වරයා හා ඔහුගේ මස්සිනා සැලසුම් කර ඇති බවට කරුණු හෙළිව තිබේ.

මේ සිද්ධිය සම්බන්ධයෙන් ත්‍රස්ත විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගනු ලැබූ කොස්තාපල්වරයාගේ මස්සිනාගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී කරුණු අනාවරණය වී ඇත.

සේරුනුවර, ත්‍රිකුණාමලයේ පදිංචි වන්නිආරච්චිලාගේ අමිල සංජීව නැමැති සැකකරු මෙසේ රැඳවුම් නියෝග මත ත්‍රස්ත විමර්ශන ඒකකයේ රඳවා තැබීමට අධිකරණය අවසර දුන්නේය.

සංවිධානාත්මක අපරාධකරුවකු හා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන මිදීගම නදුන් චින්තක නොහොත් හරක් කටා නැමැත්තාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පැන යාමට සැලසුම් සකස් කර ඇත්තේ අතුරුදන්වූ පොලිස් කොස්තාපල්වරයා හා මේ සැකකරු බවත්, ඒ බව දුරකතන විශ්ලේෂණ වාර්තා අනුව තහවුරු වී ඇති බවත් ත්‍රස්ත විමර්ශන ඒකකය අධිකරණයට කරුණු දැක්විය.

තවද හරක් කටා රුපියල් ලක්ෂ 20ක මුදලක් කොස්තාපල්වරයාගේ මස්සිනා වන මේ සැකකරු වෙත ලබා දී ඇතැයි ද පොලිස් විමර්ශනවලදී කරුණු අනාවරණය වී තිබේ.

අපරාධකරුට පලා යෑමට සහාය දුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් කොස්තාපල්වරයා මේ වන විටත් අතුරුදන්ව ඇති බවත් ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ආරම්භ කර ඇති බවත් ත්‍රස්ත විමර්ශන ඒකකය අධිකරණය හමුවේ පැවසීය.

පොලිස්පතිවරයාගේ නියෝගයකට අනුව මේ සිද්ධියේ විමර්ශන ත්‍රස්ත විමර්ශන ඒකකය වෙත ලබාදී ඇත.

සිරන්ජනී කුමාරි

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2023 – All Right Reserved. Designed and Developed by Lakehouse IT