Home » නිසි කල විභාග තබා වෙලාවට ප්‍රතිඵල දුන්නොත් උසස් අධ්‍යාපන දොරටුත් නිසි කල විවර වේවි

නිසි කල විභාග තබා වෙලාවට ප්‍රතිඵල දුන්නොත් උසස් අධ්‍යාපන දොරටුත් නිසි කල විවර වේවි

by gayan
September 19, 2023 1:00 am 0 comment

නිසි කලට විභාග පවත්වා, නිසි කලට ප්‍රතිඵල දීමට කටයුතු කළ හොත් උසස් අධ්‍යාපනයට යොමු වන දොරටුද නිසි කලට විවෘත වන බව අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය. විශාඛා විද්‍යාලයේ වාර්ෂක ත්‍යාග ප්‍රදානෝත්සවයට පසුගියදා (15) එක් වෙමින් අගමැතිවරයා මේ බව කියා සිටියේය.

එහිදී අගමැතිවරයා වැඩිදුරටත් මෙසේද පැවසීය.

“පාණදුරේ ජෙරමියස් දියෙස් මැතිනිය ඇරඹි මේ අධ්‍යාපනික ගමන හුදෙක් පාසලක් බිහි කිරීම සදහා පමණක් නොව, අධ්‍යාපන ක්ෂේත්‍රය වෙනසකට පරිවර්තනය කළ හැකි කාන්තා පරම්පරාවකට මඟ පෙන්වන කේන්ද්‍ර අධ්‍යාපන උල්පතක් බවට පත් වුණා. ක්‍රමානුකූල සැලැස්මක් යටතේ එය අඛණ්ඩව පවත්වාගෙන යෑමට පුළුවන් වීම භාග්‍යයක්. මේ කාන්තා විද්‍යාලය පසු කාලයක තවත් සුවිශේෂ ක්ෂේත්‍ර කරා ගමන් කරන විද්‍යාලයක් බවට පත් වුණා. දැනුම, සිප්සතර, පූර්ණ පුරවැසියකු බිහි කිරීමේ කර්තව්‍යය හා එහි බලපෑම නිසා විශාඛාව ජාතික වශයෙන් බැබළෙන්න පටන් ගත්තා. ශ්‍රී ලංකාවේ පාසල් අධ්‍යාපන පද්ධතිය තුළ විශාඛාවට සුවිශේෂ තැනක් අත් වන්නේ මේ නිසයි. ක්ෂේත්‍ර රාශියක වගකීම් භාර ගන්නා පුරවැසියන් බිහි කළ තෝතැන්නක් බවට විශාඛාව පත් වීම ආඩම්බරයක්.

“විද්‍යා ක්ෂේත්‍රය මෙරට කාන්තා පරපුරට විවෘත වුණා. ඒ හරහා තවත් බොහෝ විද්‍යාලවල විද්‍යා විෂය කාන්තාවන්ට විවෘත වුණා. දායාද රාශියක් සමාජගත කළා සේම ගැඹුරින් රටක් ගොඩ නැගීමේ කාර්යයට විශාඛා විද්‍යාලය එක් වුණා. විද්‍යාලයකින් පිටව විශ්ව දැනුමට අවතීර්ණ වන කේන්ද්‍රස්ථානය වෙන විශ්වවිද්‍යාලයට අපි ගමන් කරන්නේ ලොව දැනුම හා එක් වෙමින් සුවිශේෂ දායාදයන් රටකට එක්කිරීමටයි. විද්‍යාලයක් හා විශ්වවිද්‍යාල ක් අතර වෙනස ඇති වෙන්නේ ඒ නිසයි. “ඔබ ශිෂ්‍යාවන් ලෙස අසීරු කාලයක් පසු කළා. පසුගිය කාලයේ රට ඉතා අසීරු කාලයකට මුහුණ දුන්නා. අපි දැන් යළි හිස ඔසවන රටක්. දැඩි කැප වීම දැනුම දීමේ ක්ෂේත්‍ර වඩ වඩා පුළුල් කිරීම නව ක්ෂේත්‍ර බිහි වෙලා තිබෙනවා. නව ක්ෂේත්‍රවලට අවතීර්ණ වී රටට සේවය කළ හැකියි.

“අප කවුරුත් වගේම, මවුපියන්, පාසල් දරුවන් ප්‍රාර්ථනා කරන්නේ නිසි කලට විභාග පවත්වලා, වෙලාවට ප්‍රතිඵල ලැබිලා, නිසි කලට උසස් අධ්‍යාපනයට යන්න දොරටු විවෘත වීමයි. මේ කාලසටහන අධිෂ්ඨානයෙන් යුතුව ක්‍රියාත්මක කිරීමට රජය කැප වී සිටිනවා. එය අත්‍යවශ්‍යයි. පාසල් අධ්‍යයන කාලයෙන් වසරක් අඩු කරගැනීමට සාකච්ඡා පැවැත්වෙමින් තිබෙනවා. එය හැකි වුණොත් අපේ දරුවන් වසරකට පෙර උපාධිය කරා ගමන් කරනවා; එපමණක් නොව, විවිධ ක්ෂේත්‍රවලට ගමන් කරන්න හැකි වෙනවා. ඒ අභියෝගය අප ජයග්‍රහණය කළ යුතුමයි.”

විභාග කොමසාරිස් එච්.ජේ.එම්.සී. ජයසුන්දර මහතා, විදුහල්පති මනෝමි සෙනෙවිරත්න මහත්මිය ප්‍රමුඛ ගුරු මණ්ඩලය, වත්මන් හා ආදි විශාඛා දියණියන් ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

නුවන් කොඩිකාර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT