ඉතිරි වැඩ කරන්නේ කොහොමදැයි අනතුරුව සෙවිය යුතුයි
ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගු ණවර්ධන
ඔක්තෝබර් මාසය වෙද්දී ණය ප්‍රතිව්‍යුහගත කර ගැනීම සාර්ථක වීමෙන් අනතුරුව දැනට නැවතී ඇති සංවර්ධන කටයුතු නැවත ආරම්භ කිරීමේ හැකියාව උදාවනු ඇතැයි තමා විශ්වාස කරන බව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.
ඒ මහතා මෙසේ පැවසුවේ යටියන්තොට ගරාගොඩ පාලමේ අලුත්වැඩියා කටයුතු ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.
අභාවයට යන වසර 120කට වඩා පැරණි යටින්තොට ගරාගොඩ පාලම රුපියල් මිලියන 460ක වියදමින් කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනී රාජිකා වික්‍රමසිංහ මහත්මියගේ ඉල්ලීම පරිදි අලුත්වැඩියා කිරීමේ කටයුතු ආරම්භ කෙරිණි.
මේ පාලම සංවර්ධන කෙරෙන අතර නව පාලමේ දිග මීටර් 120ක් වන අතර පළල මීටර් 3.8කි. මංතීරු දෙකකින් යුතුව ඉදිවන මේ පාලමට ඇස්තමේන්තු කර ඇති රුපියල් මිලියන 460ක මුදලින් රුපියල් මිලියන 150ක් සබරගමුව පළාත් සභාව වැය කරයි.
එහිදී ඇමැතිවරයා මෙසේ ද කීවේය.
Ò2022 වසරේ සමස්ත ලාංකීය ජනතාවගෙන් ගත් බදු ආදායම රු. බිලියන 1751ක්. එයින් රාජ්‍ය සේවක වැටුප් සහ විශ්‍රාම වැටුප් ගෙවීමට රුපියල් බිලියන 1265ක් වැය වී තිබෙනවා. එය සමස්ත බදු ආදායමෙන් 72%ක්. සමෘද්ධි ඇතුළු සහනාධාර වෙනුවෙන් බිලියන 506ක් වැය වී තිබෙනවා. මුළු බදු ආදායමම එතැනින් අවසන්.
රජය ලෙස කවුරු පත්වුණත්, කවුරුන් ජනාධිපතිවරුන්, අගමැතිවරුන්, කැබිනට් මණ්ඩලය ලෙස පත් වුවත් මුලින්ම විසඳුම් සෙවිය යුතු ගැටලුව වන්නේ මාසිකව වැටුප්, විශ්‍රාම වැටුප්, සහ සහනාධාර ගෙවීමෙන් අනතුරුව ඉතිරි කටයුතු කරන්නේ කෙසේද යන්න ගැනයි.
අප විපක්ෂයේ මල්ලිලාගෙන් ඇසිය යුතු වන්නේ බදු ආදායම බිලියන 1751ට වඩා වැඩි කරගැනීම සඳහා වැඩිපුර බදු පනවන්නේ කුමන අංශවලටද යන්නයි. රාජ්‍ය සේවක වැටුප් විශ්‍රාම වැටුප් නොගෙවා සිටිය හැකිද? සමෘද්ධි දීමනා කපා හැරිය හැකිද? මීට අමතරව රාජ්‍ය ණය සඳහා පොලී ලෙස බිලියන 1500කට වඩා වැඩි ප්‍රමාණයක් ගෙවිය යුතුයි. ඒ පොලී සියල්ල ගෙවා තිබෙන්නේ, ප්‍රාග්ධන වියදම් දරා තිබෙන්නේ ණය ගැනීමෙන්. 2022 වසරේ දී රජයේ වියදම බිලියන 4500ක් පමණ වනවා. ආදායම බිලියන 2000කටත් අඩුයි. ඒ නිසා කාගේ රජයක් ආවත් වසරකට බිලියන දෙදහස් පන්සීයක් පමණ ණය ගැනීමට සිදු වෙනවා.
මේ හේතුවෙන් කවුරුන් කුමන දේ කියමින් ආණ්ඩුව පවත්වාගෙන ගියත් දිගින් දිගටම රටට ඔරොත්තු නොදෙන තරමේ අය වැය පරතරයක් තිබෙනවා. එම පරතරය පියවා ගැනීමට දේශීය හා විදේශීය වශයෙන් ණය ලබාගෙන තිබෙනවා. එය ද ප්‍රමාණවත් නොවන විට මුදල් මුද්‍රණය කර තිබෙනවා. දිගින් දිගටම මේ ණය ගෙවා ගෙන පැමිණියත් එක් අවස්ථාවක මේ ණය ගෙවා ගැනීමට නොහැකි වුණා. ඒ නිසා රට බංකොලොත් භාවයට පත් වුණා. මෙවැනි තත්ත්වයක් රටට උදා වන බව දුටු ලංකා ඉතිහාසයේ එකම රාජ්‍ය නායකයා රනිල් වික්‍රමසිංහ මහතා පමණයි. නිදහසින් පසු ප්‍රථම වතාවට චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ රාජ්‍ය සමයේ දී ආර්ථිකය – 1.4ක අගයකට පත් වුණා. එවකට මුදල් අමාත්‍යාංශ ලේකම් ධුරය හෙබවූයේ ආචාර්ය පී. බී. ජයසුන්දර මහතා. ඉතිහාසයේ වසර 12ක් මුදල් අමාත්‍යාංශයේ ලේකම් සහ මුදල් මණ්ඩලයේ සාමාජිකයකු ලෙස ඔහු කටයුතු කර තිබෙනවා. එතුමාගේ සමයේ ලංකාවේ ආර්ථිකය – 1.4ක් දක්වා ආපස්සට ගමන් කළා. ඒ රජය වෙනස් කර අපි බලයට පත් වූ අවස්ථාවේදී රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරයේ කටයුතු කළා. මා මුදල් අමාත්‍යාංශයේ කටයුතු කළා. ඒ අවස්ථාවේදී අප සියලු දෙනා මේ ආකාරයෙන් කටයුතු කළොත් රට අන්ත අගාධයට වැටෙන බව තේරුම් ගෙන පාර්ලිමේන්තුවේ වෙනම නීතියක් සම්මත කළා. 2003 අංක 3 දරන මූල්‍ය කළමනාකරණ වගකීම් පනත. මෙමඟින් ප්‍රධාන කරුණු තුනක් නීතියක් බවට පත් කළා.
පළමුවැන්න – 2006 වන විට අය වැය ලේඛනයේ හිඟය දළ දේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් වශයෙන් 5%ක් විය යුතු අතර ඉන්පසුව කවර රජයක් යටතේ වුවත් එය 5%ට වඩා අඩු අගයක් යටතේ පවත්වා ගත යුතුයි.
දෙවැන්න – 2013 වන විට රටේ නොපිය වූ මුළු විදේශ ණය ප්‍රමාණය දළ දේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් ලෙස 60%ට අඩු විය යුතුයි.
තුන්වැන්න – රජයේ දේශීය හා විදේශීය ණය සඳහා වන ඇපවීම 4.5% වඩා අඩුවිය යුතුයි.
2004 වසරේදී රජය වෙනස් වුණා. අපි විපක්ෂයේ අසුන් ගත්තා. අනතුරුව අවශ්‍ය ආකාරයට මේ පනත පාර්ලිමේන්තුවේ දී වෙනස්කම්වලට ලක් වුණා. අවසානයේ අද වන විට ගත් ණය ගෙවා ගැනීමට නොහැකි බංකොලොත් රටක් බවට පත් වී තිබෙනවා.
නැවත වරක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇතිකර ගෙන තිබෙන ගිවිසුම් සබඳතාවලට අනුව 2003 වසරේදී අප සිදු කිරීමට උත්සාහ කළ දේ වසර විස්සකට පසුව තවත් වසර දහයක් ගත වන තුරු හෝ නිවැරදිව ක්‍රියාත්මක කළ යුතු වෙනවා.
මේ රජය වෙනස් කර වෙනත් රජයක් බලයට පත් කිරීමෙන් සියල්ල වෙනස් වන බව කවුරුන් හෝ සිතනවා නම් එය ඉතාමත් මෝඩ සිතිවිල්ලක්. 2022 වසරේ දෙසැම්බර් වන විට විදේශීය රටවල් වෙත නොපියවූ ණය ප්‍රමාණය ඇ. ඩො. බිලියන 36ක්. ඉදිරි වසර පහේ එම ප්‍රමාණයෙන් ගෙවා අවසන් කිරීමට බලාපොරොත්තු වන්නේ 37%ක්. තවත් වසර 20කින් පසුවත්, කවුරුන් බලයට පැමිණියත් මේ ණය ගෙවන ආකාරය රටට ප්‍රකාශ කළ යුතුයි. මේ ක්‍රම වේදයෙන් බාහිරව කිසිවකුටත් මාසයක් හෝ ආණ්ඩුවක් ගෙනයෑමට හැකියාවක් නැහැ.
මේ ඇත්ත ජනතාවට ප්‍රකාශ නොකළොත් නැවත වතාවක් අප උනුන් ඇණ කොටා ගනිමින් දේපළ ගිනි තියමින්, සොරකම් කරමින් සිට සතියක් දෙකක් ඇතුළත විනාශයට පත්වීම නියතයි.
රට පවතින්නේ ඉතාමත් තීරණාත්මක තැනකයි. මේ වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් මෙරටට පැමිණ සාකච්ඡා කරමින් සිටිනවා. විදේශ ණය ගෙවීමේ නිශ්චිත වැඩ පිළිවෙළක් සකස් කර ගැනීමකින් තොරව කිසිදු සංවර්ධන කටයුත්තක් කිරීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ.Ó
සබරගමුව ආණ්ඩුකාර අධිනීතිඥ නවීන් දිසානායක, මහාමාර්ග රාජ්‍ය ඇමැති සිරිපාල ගම්ලත්, මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය, තාක්ෂණ රාජ්‍ය ඇමැති කනක හේරත්, පාර්ලිමේන්තු මන්ත්‍රීනි රාජිකා වික්‍රමසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රී සුදත් මංජුල, මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් වීරකෝන් මහත්ම මහත්මීන්ද, රාජ්‍ය නිලධාරීන්, ප්‍රාදේශීය දේශපාලන නියෝජිතයන්, ප්‍රදේශවාසීන් ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.
කෑගල්ල විශේෂ – චමින්ද ජයලත්,
යටියන්තොට විශේෂ