Home » පරිසරයට වග කියන රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යූහගත කිරීමට රජයේ අවධානය

පරිසරයට වග කියන රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යූහගත කිරීමට රජයේ අවධානය

by gayan
September 19, 2023 1:00 am 0 comment

පරිසරය පිළිබඳ වගකීම් පැවරී ඇති රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යූහගත කිරීමට රජය තීරණය කර තිබෙන බව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා පැවසීය. ඒ මහතා මේ බව සඳහන් කළේ වරාය නගරයේ කෘත්‍රිම වෙරළ තීරයේදී (Beach Plaza) පසුගියදා (16) පෙරවරුවේ පැවති වෙරළ පවිත්‍රතා වැඩසටහනට එක් වෙමිනි.

එදිනට යෙදී තිබුණු ජාත්‍යන්තර වෙරළ පවිත්‍රතා දිනය හා එදින ඇරඹී සමුද්‍රීය සම්පත් සුරැකීමේ සතිය නිමිත්තෙන් දිවයින පුරා පිහිටි වෙරළබඩ දිස්ත්‍රික්ක 14ම ආවරණය වන පරිදි හඳුනාගත් වෙරළ තීර සහ කලපු ප්‍රදේශ ඉලක්ක කරගනිමින් ස්ථාන 66කදී පවිත්‍රතා, දැනුවත් කිරීම් හා මුහුදු පත්ල පිරිසිදු කිරීමේ වැඩසටහන් සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය විසින් සංවිධානය කර තිබූ අතර, එය වරාය නගරයේ කෘත්‍රිම වෙරළ තීරයේදී ආරම්භ විණි. සාගල රත්නායක මහතාද වෙරළ පවිත්‍රතා කටයුතු සඳහා එක් විය. අනතුරුව පැවති උත්සව සභාව ඇමතූ සාගල රත්නායක මහතා වැඩිදුරටත් මෙසේද පැවසීය:

“දූපත් රාජ්‍යයක් ලෙස අපට ජල සම්පත ඉතා වැදගත්. අනෙක් පසින් සංචාරක ව්‍යාපාරයෙන් යැපෙන රටක් ලෙසත්, සංචාරකයන් ආකර්ෂණය කරගැනීමට අවශ්‍ය පරිසරය අප සෑම අවස්ථාවකදීම රැකගත යුතුයි. ජනතාව තුළ අකල්මය වෙනසක් ඇති කිරීම, දැනුවත් කිරීම මෙන්ම විශේෂයෙන් දරුවන් අතර පරිසරය රැකගැනීම කෙරෙහි අවබෝධයක් ඇති කිරීමට මෙවැනි වැඩසටහන් ඉතා වැදගත් වෙනවා. මේ පිළිබඳ කටයුතු කිරීමට සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය, වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව, පළාත් පාලන ආයතන ඇතුළු ආයතන ගණනාවක් තිබෙනවා. නාවික හමුදාවේ වගකීමක් නොවුණත් ඔවුන්ද මීට සහාය දෙනවා. ජනතාව නිසි ලෙස දැනුවත් කිරීම සහ තිරසර වැඩසටහන් ක්‍රියාත්මක කර පරිසර දූෂණය අවම කරගැනීමට අප මේ වැඩසටහන් මගින් බලාපොරොත්තු වෙනවා. මෙරට ආර්ථිකයේ රඳා පැවැත්ම සහතික කළ හැක්කේ පරිසරය ආරක්ෂා කිරීමෙන් පමණයි. ඒ සියලු වගකීම් රජයට පමණක් පැවරිය නොහැකියි. පරිසරය ආරක්ෂා කරගැනීම සම්බන්ධව ජනතාවටද වගකීමක් තිබෙනවා. ඒ වගකීම පිළිබඳ ජනතාව දැනුවත් කිරීමටත් නිසි වැඩපිළිවෙළක් තිබිය යුතුයි. මේ වැඩසටහනට කලාවද සම්බන්ධ කරගැනීම ඉතා හොද ප්‍රවණතාවක්. මේ සඳහා තාක්ෂණය යොදාගැනීමත් විශාල ශක්තියක් වෙනවා.”

නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා, සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපති නීතිඥ අසේල බී. රැකව, සාමාන්‍යාධිකාරි ජගත් ගුණසේකර මහත්වරුන් ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් සහ වරාය නගර පෞද්ගලික සමාගමේ පරිසර උපදේශක ඩබ්.ඒ.ඩී.ඩී. විජේසූරිය මහත්වරුන් මෙන්ම රාජ්‍ය නොවන සංවිධාන හා සාගර විශ්වවිද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

ශිරෝමි අබයසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2023 – All Right Reserved. Designed and Developed by Lakehouse IT