Saturday, May 10, 2025
Home » ඉදිකිරීම් කර්මාන්තය නඟාසිටුවීමට කඩිනම් යෝජනා 13ක් ජනපති අතට

ඉදිකිරීම් කර්මාන්තය නඟාසිටුවීමට කඩිනම් යෝජනා 13ක් ජනපති අතට

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම්

by gayan
September 19, 2023 1:00 am 0 comment

උපාලි කරුණාරත්න

ඉදිකිරීම් කර්මාන්තයේ පසුබෑම මඟහරවා ගැනීමට අවශ්‍ය කඩිනම් යෝජනා 13ක් ජනාධිපතිවරයාට භාර දුන් බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් ඩබ්ලිව්. එස්. සත්‍යානන්ද මහතා පැවැසීය.

ලේකම්වරයා මේ බව පැවැසුවේ පසුගියදා (15) කළුතර, දොඩන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවති කුඩා හා මධ්‍ය පරිමාණ කොන්ත්‍රාත්කරුවන්ගේ ඉදිකිරීම් ආරවුල් විසඳීමේ කළුතර දිස්ත්‍රික් උපදේශන සේවා ජංගම වැඩසටහනට එක් වෙමිනි.

නාගරික සංවර්ධන හා නිවාස ඇමැති ප්‍රසන්න රණතුංග මහතාගේ උපදෙස් මත මේ වැඩසටහන ක්‍රියාවට නැංවේ. නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය යටතේ ඇති ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරිය (CIDA) සහ ජාතික ඉදිකිරීම් සංගමය එක් මේ උපදේශන සේවාව සංවිධාන කරයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ලේකම්වරයා මෙසේ ද කීවේය.

“මෙවර අය-වැයෙන් ඉදිකිරීම් කර්මාන්තය නඟාසිටුවීමට අවශ්‍ය ප්‍රතිපත්ති හඳුන්වා දෙනවා. මෙරට ජනගහනයෙන් 20%ක පමණ පිරිසක් යැපෙන්නේ ඉදිකිරීම් කර්මාන්තයෙන්. යම්කිසි ලෙසකින් ඉදිකිරීම් කර්මාන්තය කඩා වැටුණොත් රටේ මුළු ජනගහනයෙන් 1/5කගේ ජන ජීවිතය අකර්මණ්‍ය වෙනවා.

ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය මේ වන විට මෙරට ඉදිකිරීම් කර්මාන්තය නඟාසිටුවීමට අවශ්‍ය කටයුතු සිදු කරමින් සිටිනවා. ඉදිකිරීම් කර්මාන්තය නඟාසිටුවීමට අවශ්‍ය මූල්‍යමය සහ මූල්‍යමය නොවන විසඳුම් දීමට රජය කඩිනමින් කටයුතු කරනවා.

ඉදිකිරීම් ක්ෂේත්‍රයට වගකියන මෙරට එකම කැබිනට් අමාත්‍යාංශය නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශයයි. ඉදිකිරීම් කර්මාන්තය සම්බන්ධයෙන් සොයා බැලීමට ජනාධිපතිවරයා විසින් පසුගිය කාලයේ අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සමන්විත ප්‍රධාන කමිටු 6ක් පත් කළා. එම කමිටු රැස්වී මේ සඳහා ගත හැකි පිළියම් සාකච්ඡා කළා. ඒ සඳහා ජනාධිපතිවරයාගේ, මහා භාණ්ඩාගාරයේ, මුදල් අමාත්‍යාංශයේ සියලු දෙනාගේම සහයෝගය හිමි වුණා. ඒ අනුව රටේ ඉදිකිරීම් කර්මාන්තය නඟාසිටුවීමට ගත හැකි යෝජනා 50ක් හඳුනා ගැනීමට අපට පුළුවන් වුණා. එයින් යෝජනා 13ක් කඩිනමින් ඉටු කළ යුතු කාරණා ලෙස ජනාධිපතිවරයාගේ අවධානයට යොමු කළා. එම නිසා 2024 අය-වැයෙන් ඉදිකිරීම් කර්මාන්තයේ පසුබෑම නැතිකොට නව මඟකට හරවන්න අවශ්‍ය ප්‍රතිපත්ති හඳුන්වා දෙයි කියා අප බලාපොරොත්තු වෙනවා.

දේශීය කුඩා හා මධ්‍ය පරිමාණ කොන්ත්‍රාත්කරුවන් මුහුණ පා ඇති ගැටලුවලට විසඳුම් දී ඔවුන් ශක්තිමත් කිරීම මේ ජංගම වැඩසටහනේ ප්‍රධානතම අරමුණයි. මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රයේ නියාමකයා ලෙස 2014 අංක 33 දරන ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන පනතේ විධිවිධාන අනුව කොන්ත්‍රාත්කරුවන්ගේ ගැටලු විසඳීම සම්බන්ධයෙන් ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරිය කටයුතු කරනවා.

මෙරට ඉදිකිරීම් කර්මාන්තය රටේ ආර්ථිකයට ප්‍රධාන දායකත්වයක් සපයනවා. ඒත් කොවිඩ් වසංගතය සහ ආර්ථික අර්බුදය හේතුවෙන් පසුගිය කාලයේ ඉදිකිරීම් ක්ෂේත්‍රයට විශාල බලපෑමක් එල්ල වුණා. එයින් පීඩාවට පත්වු මෙරට කුඩා හා මධ්‍ය පරිමාණ ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවන්ගේ ආරවුල් විසඳීම යටතේ දිස්ත්‍රික් මට්ටමින් නොමිලේ මේ උපදේශන වැඩසටහන පවත්වනවා.”

මීට සමගාමීව ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරිය විසින් නිපුණ ඉදිකිරීම් ශිල්පී හැඳුනුම්පත දීමට ඉදිකිරීම් ශිල්පීන් ලියාපදිංචි කිරීම ද මෙහිදී සිදු කෙරිණි.

කළුතර අතිරේක දිස්ත්‍රික් ලේකම් තිලංකා වෙත්තසිංහ, දොඩන්ගොඩ සහකාර ප්‍රාදේශීය ලේකම් අනීෂා ශිරෝමාලා, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් (ඉංජිනේරු සේවා) වජිරා අබේවර්ධන, ජාතික ඉදිකිරීම් සංගමයේ සභාපති ඩැරින්ටන් පෝල්, ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරියේ සභාපති ආර්. එච්. රුවිනිස්, අධ්‍යක්ෂ ජනරාල් එස්. කේ. එස්. අමරසේකර, ක්‍රියාකාරී අධ්‍යක්ෂ ට්‍රෙවින් ප්‍රනාන්දු, අධ්‍යක්ෂිකා චන්දිමා කරුණාරත්න යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට සහභාගී වූහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT