Thursday, September 28, 2023
Home » පිහිනුම් තරගයේ 4 වැනියා වෙලා:අම්මා බැන්නැයි දරුවා ගිහින්

පිහිනුම් තරගයේ 4 වැනියා වෙලා:අම්මා බැන්නැයි දරුවා ගිහින්

පොලිසිය පැයෙන් සොයා දෙයි

by gayan
September 19, 2023 1:00 am 0 comment

සුගතදාස ක්‍රීඩාංගණයේ පැවැති ක්‍රීඩා තරගයකින් අනතුරුව අතුරුදන් වූ 12 හැවිරිදි දරුවා පැයක් ඇතුළත දී සොයා ගෙන මවට භාර දුන් බව ග්‍රෑන්ඩ්පාස් පොලිසිය කියයි.

පිහිනුම් තරඟයට සහභාගි වූ තම පුතු සුගතදාස ක්‍රීඩාංගණය අසල දි එකවරම අතුරුදන් වූ බව මට්ටක්කුලිය ප්‍රදේශයේ කාන්තාවක් කරන ලද පැමිණිල්ලක් අනුව ක්‍රියාත්මක වූ ග්‍රෑන්ඩ්පාස් පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එච්. හැරිසන් මහතා පොලිස් කණ්ඩායම් තුනක් පත්කර යුහුසුළුව දරුවා සොයා බැලීමට කටයුතු කර ඇත.

එයින් එක් කණ්ඩායමක් සීසීටීවී දර්ශන පරික්ෂා පත්කර විමර්ශන කඩිනම් කළ ස්ථානාධිපතිවරයා ඔහු ද සෘජුවම මැදිහත් ව දරුවා සෙවීමේ කටයුතු සිදු කළේය.

ඒ අනුව ලැබෙන සෑම තොරතුරක් ඔස්සේ ම නිලධාරීන් යොදවා විමර්ශන සිදු කරමින් සිටියදී දරුවා මෝටර් රථයක දමා ගෙන පුද්ගලයෙකු දෙමටගොඩ ප්‍රදේශයට ගෙන ගිය බවට ලද තොරතුරක් අනුව සීසීටීවී දර්ශන පරික්ෂා කිරීම ද සිදු කෙරිණි.

අතුරුදන් වූ බව කියන දරුවා රාත්‍රී 10 ට පමණ කොළඹ ලෝක වෙළඳ මධ්‍යස්ථානය අසල සිට ත්‍රිරෝද රථ රියදුරකු ගේ ජංගම දුරකථනයකින් සිය මවට දුරකථන ඇමතුමක් ලබාදී තිබු බව ග්‍රෑන්ඩ්පාස් පොලිසියේ ස්ථානාධිපතිවරයාට දැනගැනීමට ලැබීමත් සමඟම කොටුව පොලිසියට ඒ බව දන්වා පොලිස් නිලධාරියකු එම රථ ගාල අසලට යවා දරුවා පොලිස් භාරයට ගෙන ග්‍රෑන්ඩ්පාස් පොලිසිය වෙත රැගෙන ඒමට කටයුතු කර තිබිණි.

අනතුරුව දරුවාගෙන් තොරතුරු විමසීමේ දී නාඳුනන පුද්ගලයෙකු තමන්ව වෑන් රථයක බලෙන් නංවාගෙන රැගෙන ගිය බව පැවැසූ බවත් පොලිසිය කියයි.

එම තොරතුරු සටහන් කර ගෙන සිදු කළ විමර්ශනවල දී ඔහු පැවසූ තොරතුරු අසත්‍ය බව විමර්ශනවල දී අනාවරණය වීමෙන් අනතුරුව නැවත නැවත ප්‍රශ්න කිරීමේදී දරුවා පවසන තොරතුරු අසත්‍ය බවට අනාවරණය වූ අතර දරුවාගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමේ දී පිහිනුම් තරගයේදී තමන් සිව්වැනි ස්ථානයට පත්වීම හේතුවෙන් මව තදබල අයුරින් දොස් නැඟූ බවත් ඒ හේතුවෙන් ඇතිවූ සිත් තැවුල හේතුවෙන් තමන් නැවත නිවසට නො එන අදහසින් ඇවිද ගෙන ගිය බවත් දරුවාගේ ප්‍රශ්න කිරීමේදී අනාවරණය වූ බවත් පොලිසිය කියයි.

ග්‍රෑන්ඩ්පාස් පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එච් හැරිසන් මහතාගේ උපදෙස් මත පරීක්ෂණ පැවැත්වේ.

බණ්ඩාරගම බිමල් ජයසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2023 – All Right Reserved. Designed and Developed by Lakehouse IT