Home » ඉන්දීය මුහුදු සීමාවට ගසාගෙන ගිය ධීවරයෝ නාවික හමුදාවෙන් බේරා ගැනෙති

ඉන්දීය මුහුදු සීමාවට ගසාගෙන ගිය ධීවරයෝ නාවික හමුදාවෙන් බේරා ගැනෙති

by gayan
September 19, 2023 1:00 am 0 comment

කාර්මික දෝෂයක් හේතුවෙන් ඉන්දීය මුහුදු සීමාවට ගසාගෙන ගොස් ආපදාවට පත් මෙරට ධීවර යාත්‍රාවක සිටි ධීවරයෝ තිදෙනෙක් නාවික හමුදාව විසින් ගොඩබිමට රැගෙන ආහ.

ශ්‍රී ලංකාවට උතුරු දෙසින් ඉන්දීය මුහුදු සීමාවට ගසාගෙන ගොස් ආපදාවට පත් මෙරට ධීවර යාත්‍රාවක සිටි ධීවරයන් තිදෙනා (03) විදෙස් නෞකාවක් මඟින් බේරාගැනීමෙන් අනතුරුව, එම ධීවරයන් තිදෙනා කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන්, පෙරේදා (17) පී 421 වේග ප්‍රහාරක මුර යාත්‍රාවක් මඟින් ගොඩබිමට රැගෙන විත් ප්‍රතිකාර සඳහා හම්බන්තො‍‍ට මූලික රෝහල වෙත යොමු කිරීමට නාවික හමුදාව කටයුතු කර තිබේ.

හම්බන්තොට ධීවර වරායෙන්, පසුගිය 02 වන දින ධීවරයින් තිදෙනෙකු රැගත් OFRP-A-1604 TLE නමැති ධීවර යාත්‍රාව ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් සිටියදී, එම යාත්‍රාවේ ඇතිවූ කාර්මික දෝෂයක් හේතුවෙන් ශ්‍රී ලංකාවට උතුරින් ඉන්දීය මුහුදු සීමාවට ගසාගෙන ගොස් එම මුහුදු සීමාවේදී පෙරැළී ආපදාවට පත්ව ඇත.

එහිදී එම මුහුදු ප්‍රදේශය ඔස්සේ ගමන් ගත් ‘MV INTERSEA VOYAGER’ නමැති වෙ‍ෙළඳ නෞකාව විසින් ආපදාවට පත් මෙම යාත්‍රාව නිරීක්ෂණය කර, සිද්ධිය සම්බන්ධයෙන් ඉන්දියාවේ චෙන්නායි සමුද්‍රීය සෙවීම් හා මුදා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානය දැනුවත් කර ඇත.

එහිදී, ආපදාවට පත් ධීවරයින් මුදා ගන්නා ලෙස එම නෞකාව වෙත උපදෙස් ලබා දී ඇති චෙන්නායි සමුද්‍රීය සෙවීම් හා මුදා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානය, සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානය දැනුවත් කිරීමද කර ඇත. ඒ අනුව, ධීවරයන් තිදෙනා හම්බන්තොට වරාය ආසන්නයට රැගෙන ඒමට ‘MV INTERSEA VOYAGER’ නෞකාව වෙත කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානය විසින් අවශ්‍ය උපදෙස් හා සම්බන්ධීකරණ කටයුතු සිදු කිරීමෙන් අනතුරුව, වහා ක්‍රියාත්මක වූ නාවික හමුදාව, හතරවන වේග ප්‍රහාරක මුර යාත්‍රා බළගණයට අයත් පී 421 වේග ප්‍රහාරක මුර යාත්‍රාව යොදවා ‘MV INTERSEA VOYAGER’ නමැති වෙ‍ෙළඳ නෞකාව මඟින් රැගෙන ආ ධීවරයින් තිදෙනා (03) මෙලෙස ගොඩබිමට රැගෙන විත් ප්‍රතිකාර සඳහා හම්බන්තො‍‍ට මූලික රෝහල වෙත යොමු කිරීමට කටයුතු කෙරිණි.

රක්ෂණ ශ්‍රියන්ත ගාල්ල – එස් දියගහගේ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2023 – All Right Reserved. Designed and Developed by Lakehouse IT