දිවයිනේ සියලු ජලාශ, වැව්, වේලි හා ජලය රැගෙන යන උමං මාර්ගවල කළ යුතු අලුත්වැඩියා කටයුතු සහ ඒ සඳහා අපේක්ෂිත පිරිවැය ඇතුළත් වාර්තාවක් සතියකින් තමාට ලබා දෙන ලෙස ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා අදාළ නිලධාරීන්ට ඊයේ (18) උපදෙස් දුන්නේය.
උමං මාර්ගවල වර්තමාන ආරක්ෂිත තත්ත්වය ගැන ලබා ගන්නා තාක්ෂණික තොරතුරු මත පදනම්ව වාර්තාව සකස් කරන ලෙසත් ඒ මහතා සඳහන් කළේය.
වාර්තාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ඉදිරිපත් කර කඩිනම් ඉදිරි පියවර ගැනීමට පියවර ගන්නා බව ද ඒ මහතා පැවසීය. සාගල රත්නායක මහතා මේ බව සඳහන් කළේ දිවයිනේ සියලුම ජලාශ, වේලි හා ජලය රැගෙන යන උමං මාර්ගවල වර්තමාන තත්ත්වය සම්බන්ධව අදාළ රේඛීය ආයතනවල නිලධාරීන් සමඟ ජනාධිපති කාර්යාලයේදී පැවති සාකච්ඡාවේදීය.
වාරිමාර්ග දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය සහ විදුලිබල මණ්ඩලයට අයත් සියලුම ජලාශ, වේලි හා එම ජලාශවලින් ජලය රැගෙන යන උමං මාර්ගවල වර්තමානයේ පවතින තාක්ෂණික ආරක්ෂිත තත්ත්වය පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් කෙරිණ.
ජලය රැගෙන යන උමං මාර්ග අවහිර වීමෙන් මතුව ඇති ගැටලු පිළිබඳව මෙහිදී අවධානය යොමු වූ අතර ඒවායේ වැලි හා මඩ ඉවත් කර යථා තත්ත්වයට පත් කිරීම, පසුගිය කාලයේ ඇති වූ භූ කම්පනවලින් අදාළ ප්‍රදේශවල පිහිටි ජලාශ හා උමං මාර්ගවලට සිදුව ඇති බලපෑම මෙන්ම වාර්ෂිකව ඇතිවන සාමාන්‍ය තත්ත්වයන් යටතේ සිදුවන බලපෑම යන කරුණු පිළිබඳව ද සාකච්ඡාවට ලක් විය.
වාරිමාර්ග දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය හා විදුලිබල මණ්ඩලයේ කාර්යභාර ඉංජිනේරුවන් සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු මේ සාකච්ඡාවට එක්ව සිටියහ.
ශිරෝමි අබයසිංහ