Home » සරසවිවලින් ‘රැග්’තුරන් කරන්න ජාතික කමිටුවක්

සරසවිවලින් ‘රැග්’තුරන් කරන්න ජාතික කමිටුවක්

අධ්‍යාපන රාජ්‍ය ඇමැති රාඝවන්

by gayan
September 19, 2023 1:00 am 0 comment

මෙරට විශ්වවිද්‍යාල පද්ධතිය තුළින් නවක වදය තුරන් කිරීම සඳහා නවක වද විරෝධී ජාතික කමිටුවක් පිහිටුවා ඇති බව උසස් අධ්‍යාපන රාජ්‍ය ඇමැති ආචාර්ය සුරේන් රාඝවන් මහතා පැවසීය.

ජනාධිපතිවරයාගේ, අගමැතිවරයාගේ, මානව හිමිකම් කොමිෂන් සභාවේ, පොලිස්පතිවරයාගේ, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ, උපකුලපතිවරුන්ගේ සංගමය යනාදියේ නියෝජිතවරුන් මෙම කමිටුවට ඇතුළත් බවත් එය පුළුල් වූ කමිටුවක් බවත් රාජ්‍ය ඇමැතිවරයා පැවසීය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් රාජ්‍ය ඇමැතිවරයා මේ බව කියා සිටියේය.

කිසියම් නවක වද සිද්ධියක් වාර්තා වුවහොත් ඒ බව 1977, 0112123700 දුරකතන අංකවලට හෝ 0765453454 වට්ස්ඇප් පහසුකම සහිත දුරකතන අංකයට දැනුම් දිය හැකිය.

පැය 24 පුරාම ක්‍රියාත්මක මෙම දුරකතන අංකවලට නවක වද සිද්ධීන් වාර්තා වූ වහාම ඒවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමු කරමින් නීතිය ක්‍රියාත්මක කරන බව ද රාජ්‍ය ඇමැතිවරයා පැවසීය.

පසුගිය මාස 12 දී නවක වද සිද්ධි 36 ක් වාර්තා වූ අතර එය පෙර වර්ෂවලට වඩා අඩුවක් බවත් විවිධ හේතූන් නිසා පන්ති තහනමට ලක් වූ ශිෂ්‍යයන් 57 ක් වන බවත් රාජ්‍ය ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

උසස් පෙළ විභාගයට සිසුන් 363,000 ක් මුහුණ දුන් අතර ඉන් 163,000 ක් විශ්වවිද්‍යාල සුදුසුකම් ලැබුවත් 45,000 කට පමණක් විශ්වවිද්‍යාල වරම් ලැබෙන බවත් එවැනි සුළු සංඛ්‍යාවකට සරසවි වරම් ලැබීමෙන් පසුව තමන් අනෙක් අයට වඩා වගකීම් සහගතව වැඩ කළ යුතු බවට ඔවුන් තරයේ සිතට ගත යුතු බවත් රාජ්‍ය ඇමැතිවරයා කීය.

නවක වද සිද්ධීන් සම්බන්ධයෙන් උපකුලපතිවරයාගේ සිට පහළ කාර්ය මණ්ඩලය දක්වා වගකිව යුතු බවත් විශ්වවිද්‍යාල පද්ධතිය තුළින් කෙසේ හෝ මෙම නවක වද සිද්ධීන් තුරන් කර දැමිය යුතු බවත් රාජ්‍ය ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

මානව හිමිකම් කඩ කරන නවක වද සිද්ධීන් සම්බන්ධයෙන් ශිෂ්ට සම්පන්න ජාතියක් විදියට ලැජ්ජා විය යුතු යැයි ද රාජ්‍ය ඇමැතිවරයා පැවසීය.

මෙම අවස්ථාවට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ ලේකම් ආචාර්ය ප්‍රියන්ත ප්‍රේමකුමාර, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ නීති නිලධාරී නීතිඥ රනිල් අබේනායක, පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිඥ නිහාල් තල්දූව මහත්වරු සහභාගි වූහ.

සන්ධ්‍යා කරුණාරත්න

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2023 – All Right Reserved. Designed and Developed by Lakehouse IT