ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ ආරක්ෂාවට යොදවා සිටි බුද්ධි අංශයේ නිලධාරීන්ට ලබා දෙන අවසරපත් තුනක් ළඟ තබාගෙන සිටි පුද්ගලයකු සහ එම අවසර පත්‍ර රුපියල් 3000 බැගින් අලෙවි කළ ක්‍රිකට් තරගාවලියේ ආරක්ෂාවට යොදවා සිටි පෞද්ගලික ආරක්ෂක අංශ සාමාජිකයකු බුද්ධි අංශ විසින් අල්ලා පෙරේදා (17) මාලිගාවත්ත පොලිසියට භාර දී ඇත.
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ආරක්ෂාවට සමගාමීව බුද්ධි අංශ නිලධාරීන් ද සැලකිය යුතු පිරිසක් යෙදවීමට ආරක්ෂක බලධාරීන් පියවර ගෙන තිබේ. එම බුද්ධි නිලධාරීන්ට තරග පැවැත්වෙන දිනවලදී විශේෂ අවසරපත් නිකුත් කරයි. එම අවසර පත්‍රයේ පැහැය තරගයෙන් තරගයටද වෙනස් කරනු ලබයි.
මේ අවසර පත්‍රය අතැති නිලධාරීන්ට කිසිදු බාධාවකින් තොරව ක්‍රීඩාංගණයට ඇතුළු වීමටත් ඔවුන් කැමති ස්ථානයක සැරිසැරීමටත් අවසරය හිමිව තිබෙන බව සඳහන්ය.
ආසියානු කුසලාන තරගාවලියේ අවසන් මහා තරගයේ ආරක්ෂාව වෙනුවෙන් යෙදවූ බුද්ධි අංශයේ නිලධාරීන් වෙනුවෙන් දී ඇත්තේ කොළ පැහැති අවසර පත්‍රයකි. මේ අවසර පත්‍රය බුද්ධි අංශයේ නොවන පුද්ගලයෙක් විසින් ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ප්‍රධාන දොරටුව ආසන්නයේ අලෙවි කරමින් සිටිනු දුටු රාජ්‍ය බුද්ධි සේවයේ නිලධාරියකු විසින් ඔහු අල්ලා නිල ඇඳුමින් සිටි සහකාර පොලිස් අධිකාරිවරයකුට භාර දී තිබේ. එම අවස්ථාවේදී ඔහු සතුව බුද්ධි නිලධාරීන් හඳුනා ගැනීමේ අවසර පත්‍ර 03ක් තිබී ඇත. එම සහකාර පොලිස් අධිකාරීවරයා විසින් ඔහු මාලිගාවත්ත පොලිස් ස්ථානයට භාර දී ඇත. මාලිගාවත්ත පොලිස් ස්ථානයේ ඔහුව රඳවා සිටියදී ලද දුරකතන ඇමතුමකට බුද්ධි අංශ නිලධාරියෙක් සවන් දී තිබේ. එහිදී දුරකතනයේ එහා කෙළවරේ සිට ඇමතුම දුන් පුද්ගලයා පවසා ඇත්තේ තවත් අවසර පත්‍ර 05ක් ඇති බවය. එම අවසර පත්‍ර ලබා ගැනීමට ක්‍රිඩාංගණයේ ගේට්ටුවක් අසලට පැමිණෙන ලෙසය.
එහිදී බුද්ධි නිලධාරියා අත්අඩංගුවේ සිටි සැකකරුවද රැගෙන අදාළ ගේට්ටුව වෙත ගොස් ඇත. ක්‍රීඩාංගණයේ ආරක්ෂාවට යොදවා සිටි පෞද්ගලික ආරක්ෂක අංශයේ නිලධාරියෙක් විසින් එම ඇමතුම ලබා දී ඇති බව අනාවරණය වී ඇත්තේ එහිදීය. ඒ අනුව ඔහුවද අත්අඩංගුවට ගැනීමට පොලිසිය පියවර ගෙන තිබේ.
මේ ආරක්ෂක නිලධාරියා මහනුවර පදිංචිකරුවෙකි. අනෙක් පුද්ගලයා ක්‍රිකට් ක්‍රීඩාංගණය ඉදිරිපිට තට්ටු නිවාස සංකීර්ණයේ පදිංචිකරුවෙකි. ආරක්ෂක නිලධාරියා විසින් අවසර පත්‍ර 05ක් ලබා දීමට යැයි කියා දුරකතන ඇමතුමක් දී අත්අඩංගුවේ සිටි පුද්ගලයා එම ස්ථානයට ගෙන්වා ගත්තද ඔහු සතුව ඒ වන විට බුද්ධි අංශයට නිකුත් කරන අවසර පත්‍ර තිබී නැත. එහෙත් අත්අඩංගුවේ සිටි පුද්ගලයා පවසා ඇත්තේ තමාට එම කාඩ්පත් දුන්නේ මේ ආරක්ෂක නිලධාරියා බවය.
ආරක්ෂක නිලධාරියා ක්‍රීඩාංගණයේ ආරක්ෂාවට ස්ථිර වශයෙන් යොදවා සිටින අයෙක් නොවන බවත් ආසියානු කුසලානය වෙනුවෙන් ආරක්ෂක කටයුතු සඳහා යොදාගත් පෞද්ගලික ආරක්ෂක සමාගමක සාමාජිකයෙක් බවත් පොලිසිය කියයි.
ගයාන් කුමාර වීරසිංහ