Home » මහනුවර කුඩු කතගේ කෝටි ගණනක දේපොළ ප්‍රාදේශීය ලේකම් භාරයට

මහනුවර කුඩු කතගේ කෝටි ගණනක දේපොළ ප්‍රාදේශීය ලේකම් භාරයට

by gayan
September 19, 2023 1:00 am 0 comment

මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමේ චෝදනාව යටතේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මඟින් අත්අඩංගුවට ගන්නා ලද කාන්තාවකට අයත් මහනුවර කුණ්ඩසාලේ මහවත්ත ප්‍රදේශයේ පිහිටි රුපියල් කෝටි ගණනක දේපොළ අධිකරණ නියෝගයක් මත කුණ්ඩසාලේ ප්‍රාදේශීය ලේකම් භාරයට ගැනීම ඊයේ (18) සිදුවිය.

මහනුවර මහාධිකරණය මඟින් ලබා දුන් නියෝගයකට අනුව කුණ්ඩසාලේ ප්‍රාදේශීය ලේකම් සමන්ති නාගහතැන්න මහත්මිය අදාළ දේපොළේ ප්‍රතිග්‍රාහකයා ලෙස නම්කර තිබේ.

නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් මුදල් විශුද්ධිකරණ වැළැක්වීමේ පනතේ ප්‍රතිපාදන යටතේ අදාළ දේපොළ ක්‍රියා විරහිත කිරීමේ නියෝගයක් ලබා දෙන ලෙස කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් පසු මහාධිකරණය මඟින් අදාළ නියෝගය ලබා දී ඇත.

මෙම වත්කම් උපයා ගත් ආකාරය සම්බන්ධයෙන් පැහැදිලි තොරතුරු ලබා දීමට අදාළ කාන්තාව අපොහොසත් වූ බව නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය පවසයි.

ඒ අනුව මෙම ඉඩම හා නි‍ෙවස කුණ්ඩසාලේ ප්‍රාදේශීය ලේකම්වරියගේ අවසරයක් නොමැතිව කිසිවෙකුට පැවරීම, විකිණීම හා වෙනත් මොනයම් හෝ ක්‍රියාදාමයක් සඳහා යොදා ගැනීමට එහි හිමිකරුවන්ට නොහැකි වනු ඇත.

දැනට බන්ධනාගාරගතව සිටින සැකකාර කාන්තාව බන්ධනාගාර නිලධාරීන් විසින් අදාළ ස්ථානයට රැගෙන එනු ලැබීය. සැකකාරියගේ සැමියා භාරයේ තිබූ නි‍ෙවසේ යතුරු සැකකාරියට ලබා දීමෙන් පසු ඇය විසින් ඒවා ප්‍රාදේශීය ලේකම්වරිය වෙත භාර දුන්නාය.

මෙම අවස්ථාවට පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය හා නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය නියෝජනය කරමින් නිලධාරීහු පිරිසක් සහභාගි වූහ.

අසේල කුරුළුවංශ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2023 – All Right Reserved. Designed and Developed by Lakehouse IT