Home » ජීවත් ‍වූ නිවෙස වන අලි බිමට සමතලා කරලා

ජීවත් ‍වූ නිවෙස වන අලි බිමට සමතලා කරලා

ගසක් උඩ පැලක දිවි ගෙවන අසරණ දරු පවුලට සරණක් වෙන්න

by gayan
September 19, 2023 1:00 am 0 comment

වන අලි ප්‍රහාරයකින් පාඩික්ගම ගම්මානයේ නිවෙසක් සම්පූර්ණයෙන්ම විනාශ වී දරුවන් සමඟ අසරණ වූ මවුපියෝ ගසක් උඩ පිහිටි පැලක සිටින පුවතක් අපට මැදවච්චියෙන් වාර්තා විය.

මැදවච්චිය ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ තුලාන අංක 54 හිරල්ලුගම වසමේ මෙම පාඩික්ගම ගම්මානය පිහිටා ඇත. ගොවිතැන මූලික ජීවනෝපාය වූ මෙම ගම්මානය දරිද්‍රතාවයෙන් පෙළෙන ජනතාවක් සිටින ගම්මානයක් බවට මැදවච්චිය නම් දරා ද ඇත්තේ බලධාරීන් එම ගම්මානයට කුඩම්මාගේ සැලකිල්ල දක්වන නිසාවෙනි. එමෙන්ම දීර්ඝ කාලයක සිට ගොවීන් වගා කරමින් සිටි හේන් රක්ෂිත කරමින් අඩවි වන නිලධාරීන් විසින් ගම්වාසීන්ට සිදු කළ අසාධාරණයක ප්‍රතිපඵලයක් ලෙස මෙම ගම්මානයට වන අලි දිගින් දිගටම පැමිණෙන බවයි ගම්වාසීහු පවසන්නේ.

මෙලෙස වන අලි ප්‍රහාරය එල්ල වී ඇත්තේ එච්. බී. උපාලි රණවීර නමැති සිවු දරු පියකුගේ නිවෙසටය. පුරා වසර 20ක කාලයක් තම දරුවන්ට සෙවණ ලබා දුන් කටු මැටි වරිච්චි බිත්තිවලින් සමන්විත මෙම නිවෙස බිඳී යාමත් සමඟම පාසල් යන දරුවන්ට ඉතිරිව ඇත්තේ පොත් බෑගය පමණක් බවත් කැඳ බීමටවත් හාල් ටිකක් නොමැති බවත්, නැවත නිවෙසක් සාදා ගැනීමට උදවු උපකාර අවශ්‍ය බවත් හැඩූ කඳුළින් එච්. බී. උපාලි රණවීර පියා අපට කීවේය.

ඔහු වැඩිදුරටත් පැවසූවේ මේ දෙවැනි පාර මගේ නිවෙස අලි කඩපු. අපිට දැන් ගහ උඩ තියෙන පැලේ ජීවත් වෙන්න වෙන්නෙ. ඉන්න තැනක් අපට නෑ. මේ දුප්පත් අපට අස් වැසුමවත් ලැබුණේ නෑ. ප්‍රාදේශීය ලෙක්ම්තුමියයි, ග්‍රාම නිලධාරිතුමයි ඇවිත් අපි විඳින දුක සොයා බලා අස්වැසුමට අභියාචනා දාන්න කිව්වා. ගෙදර හරියේ හාල් ඇටයක් මේ දරුවන්ට කන්න දෙන්න අලි ඉතුරු කළේ නෑ. දරුවන්ගේ පොත් බෑගය විතරයි ඉතුරු වුණේ. වැස්සට මේ බඩු ටික තෙමෙනවා. බිම හැලිලා තිබුණු හාල් ටිකවත් එකතු කරලා කැඳවත් හදා ගන්නවා. මම අසරණ වෙලා ඉන්නේ. අනේ අපට උදව් කරන්න මේ ගේ හදා ගන්න.

සිසිර සේනාරත්න මහතා,

“මේ පවුල මෙම ගම්මානයේ ඉන්න අසරණම පවුල. ඒ පවුලේ සෙවණ වූ නිවෙස අද වන අලි සම්පූර්ණයෙන්ම කඩා බිඳ දමලා. මේ වටේ ඉඩම් රක්ෂිත කළ එකේ ප්‍රතිඵල. පැල් රැකෙනවනම්, හේන් අසවද්දවනවනම් අලි ගම් වදින්නේ නෑ. අද වෙද්දි මේ නිවෙස කැඩුවා. මේ අහිංසක ජීවිතවලට හානියක් වුණා නම් කවුද ඒවට වග කියන්නේ. සල්ලිවලින් ජීවිත මනින්න පුළුවන්ද. මේ අලි ගම් වදින එකට ස්ථීර විසඳුමක් ඕනේ. මෙහෙ අඩවි වන නිලධාරීන් ජනතාවගෙන් පලි ගන්නවා. රජයටවත්, රටටවත්, ගමටවත් වගේම ජනතාවටවත් මේ අයගෙන් සේවයක් සිදු වන්නේ නෑ. වනජීවි එකත් එහෙමයි. ඒ ගැන කියලා වැඩක් නෑ. රජය විසින් මේ අයට කිසිම සහනයක් දෙන්නේ නෑ. අඩුම සමෘද්ධියේ අස්වැසුම මේ අයට නෑ. මේ දරුවන් පාසල් යන්නේ කොහොමද දැන්. අලි සියල්ල විනාශ කරලා. අනේ මේ පවුලට උදව් කරන්න හැකි ධානපතියෙක් ඉන්නවනම් 0760046846 කියන ඒ අයගේ දුරකතන අංකයට කතා කරලා උදව් කරන්න. මේ අය ගැන රජය බලන්නේ නෑ. ඒ නිසා මිනිස්සු ලෙස අපිවත් බලමු.

කැබිතිගොල්ලෑව සමූහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2023 – All Right Reserved. Designed and Developed by Lakehouse IT