Home » කුඩගලහේන අරියමිත්ත කනිෂ්ඨය යළි අරඹන්න කාලය හරි

කුඩගලහේන අරියමිත්ත කනිෂ්ඨය යළි අරඹන්න කාලය හරි

by gayan
September 19, 2023 1:00 am 0 comment

කඹුරුපිටිය නාගරික සීමාව තුළ පිහිටා තිබෙන කුඩගලහේන අරියමිත්ත කනිෂ්ඨ විද්‍යාලයේ ඉගෙනුම ලබන ශිෂ්‍ය සංඛ්‍යාව බරපතළ ලෙස පහත වැටීම නිසා චන්දිම රාසපුත්‍ර මහතා දකුණු පළාත් අධ්‍යාපන ඇමැතිවරයා වශයෙන් කටයුතු කරන සමයේ වසා දැමීමට කටයුතු කළේ එහි අවසන් වරට ඉගෙනුම ලබමින් සිටි සිසුන් 04දෙනා කඹුරුපිටිය මහා විද්‍යාලයට ඇතුළත් කිරීමෙන් පසුය.

යෝජිත පාසලක් ලෙස කඹුරුපිටිය බටපත්තල ශ්‍රී උපසේන පිරිවෙන් විහාරාධිපති කැකුණේවෙල අරියමිත්ත නාහිමියන් විසින් ආරම්භ කළ මෙම පාසල පසුව රජයට පවරා දී ඇත. නගරයේ කලබලකාරී වටපිටාවෙන් දුරස්ව නිස්කලංක පරිසරයක පිහිටි මෙම පාසල සතුව අක්කර දෙකක පමණ ඉඩමක් සහ ගොඩනැගිලි දෙකක් විය. පාසල වසා දමා ගත වූ කාල සීමාව තුළ මෙහි කලින් කලට යුධ හමුදා කඳවුරක් සහ බතික් පුහුණු මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගිය ද මේ වන විට කිසිදු ප්‍රයෝජනයකට නොගෙන අත්හැර දැමීම නිසා පාසල වල්බිහිවෙමින් තිබෙන බව දක්නට ලැබේ.

පාසලේ වර්තමාන තත්ත්වය සම්බන්ධයෙන් අදහස් දැක්වූ හිටපු දකුණු පළාත් සභා අමාත්‍ය බිංදු වීරසිංහ මහතා,

මේ පාසල වසා දැමීමෙන් පස්සෙ තිබුණ ගොඩනැගිලි දෙකෙන් එකක් මේ වන විට කඩාවැටිල. පාසල් භූමිය වල්බිහිවෙලා. පිරිසක් මේ පාසල මේ වන විට විවිධ දුරාචාර සහ සමාජ විරෝධී කටයුතු සඳහා යොදා ගනිමින් සිටිනවා. එය ප්‍රදේශයේ ආරක්ෂාවටත් සාමකාමී බවටත් තර්ජනයක්.

කඹුරුපිටිය මහා විද්‍යාලයේ සිසුන් 1500කට වැඩි පිරිසක් ඉගෙනුම ලැබුවත් එය පවත්වාගෙන යන්නේ නගරයේ කලබලකාරී වටපිටාවක පහසුකම් අඩු ඉතාමත් කුඩා ඉඩකඩක. කුඩගලහේන පාසල පිහිටා ඇති ස්ථානයේ ඉගෙනීමට සුදුසු නිස්කලංක පරිසරයක් තියෙනවා. කඹුරුපිටිය මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුන්ට ප්‍රමාණවත් පහසුකමක් නැති නිසා අවශ්‍ය ගොඩනැගිලි ඉදිකර මහා විද්‍යාලයේ ප්‍රාථමික අංශය කුඩගලහේන විද්‍යාලය පිහිටා තිබුණ ස්ථානයේ පිහිටුවන ලෙස අපි පළාත් සභාවේදී ඉල්ලීම් කළත් ඵලක් වුණේ නැහැ.

පාසල් භූමිය අවට පදිංචිකරුවන් විසින් අත්පත් කරගනිමින් සිටිනවා. මෙම ස්ථානයේ පාසලකට අවශ්‍ය පහසුකම් ලබා දී සංවර්ධනය කරන්න ඉඩකඩ තියෙනවා. කඹුරුපිටියට තිබෙන මෙම වටිනා සම්පත දැන් හෝ ප්‍රයෝජනවත් කටයුත්තකට යොදා ගැනීමට කටයුතු කළ යුතුයි. රජය සතු වටිනා සම්පතක් ප්‍රයෝජනයකට නොගෙන විනාශ වීමට ඉඩහැර තිබීම ජාතික අපරාධයක්.

කඹුරුපිටිය ප්‍රාදේශීය ලේකම් කුසලක නානායක්කාර මහතා,

අබලන් වෙලා විනාශයට පත්වෙමින් තිබුණ ගොඩනැගිලි දෙකෙන් එකක් රුපියල් ලක්ෂ දහයක් වියදම් කර අලුත්වැඩියා කර බතික් පුහුණු මධ්‍යස්ථානයක් ආරම්භ කළා. එම මධ්‍යස්ථානයෙන් එක කණ්ඩායමකට පුහුණුව ලබාදීමට හැකි වුණා. කලින් පැවති ජල බිලක් නොගෙවීම නිසා ජලය විසන්දි කිරීම නිසා බතික් පුහුණු පාඨමාලාව ඉදිරියට පවත්වාගෙන යාමට නොහැකිව නතර කර දැමීමට සිදුවුණා. බතික් පුහුණු මධ්‍යස්ථානය වසා දැමීමෙන් පසු එය සොරුන් විසින් බිඳ දේපළ පැහැර ගෙන තිබුණා. ඉතිරි වූ බඩුවල ආරක්ෂාව සඳහා කාර්යාලයට රැගෙන ඒමට කටයුතු කළා.

තමරසිරි විජේසේකර – දෙයියන්දර සමූහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2023 – All Right Reserved. Designed and Developed by Lakehouse IT