ගොවියෝ අසීරුවෙන්
හාලිඇළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කොකටියමළුව ග්‍රාම නිලධාරී වසමට අයත් උදේනිගම ප්‍රදේශයේ කුඹුරු ඇතුළු වගාබිම්වලට ජලය ලබාගත් උදේනිගම වැවෙහි දැනට වසර ගණනාවක් තිස්සේ රොන්මඩ පිරී වැව කැළෑවදිමින් පවතින බැවින් එය කඩිනමින් පිළිසකර කරදෙන මෙන් එම ප්‍රදේශවාසී ගොවි ජනතාව රජයෙන් ඉල්ලා සිටිති.
ප්‍රදේශවාසී ගොවියකු වන කුමාර මුණිදාස මහතා ඒ සම්බන්ධයෙන් මෙසේ අදහස් දැක්වීය.
මේ වැව දැනට අවුරුදු 25කට පමණ පෙරත් රොන්මඩ ඉවත් කර පිළිසකර කිරීමට කටයුතු කෙරුණා. ඒ සඳහා රුපියල් ලක්ෂ 90ක පමණ මුදලක් වෙන්කොට තිබුණත් මුදල් නාස්තියක් මිස ඉන් වෙනත් ප්‍රයෝජනයක් වුණේ නෑ. වැවෙන් අඩක්වත් පිරිසිදු කළේ නෑ. මේ වන විට ආපහු වැවෙහි රොන්මඩ පිරිලා වැවෙන් තුන්කාලක පමණ කොටසක් සම්පූර්ණයෙන්ම ගොඩවී වල්බිහිවෙලා තියෙන්නේ. සොරොව්වත් කැඩිලා. වැවේ ජලය වගාබිම්වලට ගෙන යන ඇළ මාර්ගයත් අබලන්ව ඇති නිසා කැඩුණු සොරොව්වෙන් පිටවන ජල ප්‍රමාණය හෝ නිසි ලෙස කුඹුරුවලට ලබාගැනීමට නොහැකි වී තිබෙනවා. ඒ නිසා අපි වගකිවයුතු අංශවලින් ඉල්ලන්නේ අපේ ගොවීන්ට දෙකන්නය වගා කරගන්න අවශ්‍ය ජලය ලබාගැනීමට මේ වැවත් සොරොව්ව හා ඇළ මාර්ගයත් කඩිනමින් අලුත්වැඩියා කරදෙන්න කියලයි.
උදේනිගම ‘දිමුතු’ ගොවි සංවිධානයේ සභාපති එස්. එම්. සෙනෙවිරත්න මහතා මෙසේ පැවසීය.
පවතින තත්වය මත ඇතැම් ගොවීන් දැන් වගාව සම්පූර්ණයෙන් අත්හැරලා. සමහර ගොවීන් තම කුඹුරු ඉඩම්වල වී වෙනුවට වෙනත් ගොඩභෝග වගාකිරීමට පෙලඹී සිටිනවා. ඒත් පෑවිල්ල කාලෙට ඒ භෝගවලට හෝ ජලය නැතිවීම ප්‍රශ්නයක්. බොහෝ ගොවීන් කුලී වැඩ කරනවා. ගමේ අය දැන් වැව පාවිච්චි කරන්නේ හරකුන් දිගේලි කරන්නයි. ඒ තරමට වැව ගොඩවෙලා. ඒත් වැව පිළිසකර කිරීම ගොවීන් විදිහට අපට තනිවම කරගන්න බෑ. ඒ සඳහා විශාල මුදලක්, යන්ත්‍ර සූත්‍ර ඕනෑ. ඒ සඳහා ගොවීන්ට රජයේ උපකාර අවශ්‍යමයි. ඒ නිසා අඛණ්ඩව තම වගාවන් කරගෙන යාම පිණිස මෙම වැව හා සොරොව්ව ද ඉන් ජලය ලබාගන්නා ඇළ මාර්ගය ද නිසි ලෙස පිළිසකර කර දෙන්නැයි ගොවිජන සේවා දෙපාර්තමේන්තුව, වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඇතුළු වගකිවයුතු අංශයන්ගෙන් අප කාරුණිකව ඉල්ලා සිටිනවා.
හාලිඇළ සමූහ ආර්. එම්. විජේරත්න