Thursday, September 28, 2023
Home » බිත්තර රෝල් එකේ ප්ලාස්ටික් බිත්තර

බිත්තර රෝල් එකේ ප්ලාස්ටික් බිත්තර

by gayan
September 19, 2023 1:00 am 0 comment

බෙන්තර ප්‍රදේශයේ පිහිටි අවන්හලකින් මිලදී ගත් බිත්තර රෝල්ස් එකක තිබූ බිත්තරය ප්ලාස්ටික් හෝ රබර්වලට සමාන අසාමාන්‍ය එකක් බවට පාරිභෝගිකයකු විසින් දුරකථන මගින් කළ පැමිණිල්ලක් මත පරීක්ෂණ සිදුකරන පුවතක් බෙන්තර සෞඛ්‍ය බල ප්‍රදේශයෙන් වාර්තා වේ. අලුත්ගම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු විසින් කළ පැමිණිල්ලක් අනුව මෙසේ පරීක්ෂණ ආරම්භ කරන බව සඳහන් වේ. පැමිණිලිකරු තවත් අයෙකු සමඟ ඊයේ (18) පස්වරුවේ බෙන්තර පිහිටි අවන්හලට ගොස් බිත්තර රෝල්ස් එකක්, බනිස් ගෙඩියක්, මාළු චයිනිස් රෝල්ස් එකක්, එළවළු රොටියක්, වතුර බෝතලයක්, බීම බෝතලයක් සහ නෙස්කැෆේ එකක් රුපියල් 1230 ක් ගෙවා මිලදී ගෙන ඇති බවත්, බිත්තර රෝල්ස් එකෙහි වටිනාකම රුපියල් 170 ක් බවත් සඳහන්වේ. ඔහුට බිත්තර රෝල්ස් ආහාරයට ගැනීමේදී ඇතිවූ අපහසුතාව හේතුවෙන් පරීක්ෂා කිරීමේදී එය රබර් හෝ ප්ලාස්ටික් එකකට සමාන බව දැන එහි කාර්ය මණ්ඩලය සමග කතිකා කර ඇතත් එකඟත්වයට පත්වීමට නොහැකිවී ඇත.

ඒ අනුව අවට මේස නිරීක්ෂණය කිරීමේදී බිත්තර රෝල්ස් ආහාරයට ගත් අයවලුන් බිත්තර කෑලි ආහාරයට නොගෙන ඉතිරි කර ගොස් යන අයුරු ද පැමිණිලිකරු නිරීක්ෂණය කර ඇත. පසුව ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂක වරයාට දුරකථන මගින් දැනුම් දී ඇති බවත් ඒ වනවිට ඔහු ඇල්පිටිය ප්‍රදේශයේ රාජකාරි කටයුත්තක් යෙදී සිටින බැවින් පසුදින පරීක්ෂණ ආරම්භ කරන බවත් දැනුම් දී ඇති බව පැමිණිලිකරු පැවසීය .

මේ පිළිබඳ අදහස් දැක්වූ බෙන්තර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා දුරකථන මගින් පැමිණිල්ලක් ලැබී තිබෙනවා. හෙට පරීක්ෂණ ආරම්භ කරනවා යනුවෙන් පැවසීය.

පොතුපිටිය සුමිත් ප්‍රේමතිලක

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2023 – All Right Reserved. Designed and Developed by Lakehouse IT