- ධනුෂ්ක උසාවි ආවේ තරුණියක් එක්ක
- නඩුව දින 3-4කින් නිමා වන ලකුණු
ස්ත්‍රී දූෂණ චෝදනාවකට ලක්ව අධිකරණ නියෝග මත වසරකට ආසන්න කාලයක් ඔස්ට්‍රේලියාවේ රැඳී සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ හිටපු ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලකගේ නඩුව ඊයේ සිඩ්නි නුවර ඩව්නින් දිස්ත්‍රික් අධිකරණයේදී විනිසුරු සාරා හගේට් මහත්මිය ඉදිරියේ විභාගයට ගත් බව වාර්තා වේ. තොරතුරු අනාවරණය නොවන සුදු ජාතික තරුණියක් සමඟ අතිනත පටලාගත් ධනුෂ්ක ගුණතිලක සිය නීතිඥ මුරුගන් තංගරාජ් මහතා සමඟ අධිකරණයට පැමිණ සිටි බවත්, අධිකරණ ක්‍රියාවලිය හේතුවෙන් අනන්‍යතාව හෙළි නොකෙරෙන අදාළ කාන්තාව ද ඊයේ අධිකරණය හමුවේ පෙනී සිටි බවත් එරට මාධ්‍ය වාර්තා කළේය.
‘ටින්ඩර්‘ නමැති පෙම්වතුන් සඳහා වෙන් වූ වෙබ් අඩවියක් ඔස්සේ එකිනෙකා දැන හැඳින ගැනීමෙන් දින කිහිපයකට පසු 32 හැවිරිදි ධනුෂ්ක සිඩ්නි නුවර ‘ඔපෙරා බාර්‘ අවන්හලේදී පළමු වරට මුණ ගැසුණු බවත්, අනතුරුව එදින රාත්‍රී 11.00ට පමණ ඇය සමඟ එවකට ඇය පදිංචිව සිටි නිවෙසට යෑමෙන් පසු මේ බලහත්කාර ලිංගික එක්වීම සිදුවූ බවත් පැමිණිල්ල මෙහෙය වූ නීතිඥ ගේබ්‍රියෙල් ස්ටීඩ්මන් ඊයේ අධිකරණය හමුවේ කරුණු දක්වා තිබේ. එය තහවුරු කිරීම සඳහා දෙදෙනා පළමුවරට සිඩ්නි නුවර ඔපෙරා බාර් අවන්හලේදී මුණ ගැසෙන අයුරු දැක්වෙන වීඩියෝ පටයක් ද අධිකරණය හමුවේ ප්‍රදර්ශනය කර තිබේ.
විත්තිකාර ධනුෂ්ක උපත් පාලන කොපුව ඉවත් කරමින් බලහත්කාරයෙන් තමා සමඟ ලිංගිකව එක්වූ බවත්, ඒ සම්බන්ධව විරෝධය දැක්වීමේදී ඔහු තම උගුර සිර කිරීම හේතුවෙන් ජීවිතය පිළිබඳ දැඩි බියක් ද ඇති වූ බවත් දූෂණයට ලක්වූ බව කියන 29 හැවිරිදි කාන්තාව අධිකරණය හමුවේ ඊයේ ප්‍රකාශ කළ බව එරට මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.
තමා උපත් පාලන කොපු භාවිතයට අකමැති බවත්, ගැබ් නොගන්නා බවට සහ ලිංගිකව එක්වීමෙන් සම්ප්‍රේෂණය වන රෝග කිසිවක් නොවැලඳෙන බවට සහතික වන බවත් ධනුෂ්ක තමාට කියා සිටියේ යැයි එම කාන්තාව අධිකරණය හමුවේ වැඩිදුරටත් ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ.
ලිංගිකව එක්වීමේදී ලිංගික අතවර හෝ දූෂණයක් ලෙස සලකා නීතියෙන් දඬුවම් ලැබිය හැකි වරදක් වන අනුදැනුමකින් තොරව හෝ අනුමැතියකින් තොරව උපත් පාලන කොපු ඉවත් කිරීමේ සිදුවීම හැරුණු විට ධනුෂ්කට එරෙහිව වෙනත් චෝදනාවක් නැති බවත්, ඔහු සහ අදාළ කාන්තාව අතර ලිංගික හැසිරීම එකඟතාවකින් තොරව සිදුවූ බවට නිගමනය නොවන බවත් අධිකරණයට පැහැදිලි වූ බව එරට මාධ්‍ය සඳහන් කළේය.
මේ අතර පැමිණිලිකාරිය එසේ ප්‍රකාශ කළ ද, ඇගේ කැමැත්තට එරෙහිව ධනුෂ්ක එවැන්නක් සිදු කළ බව ඇය විසින් ඔප්පු කළ යුතුව ඇතැයි ධනුෂ්කගේ නීතිඥ මුරුගන් තංගරාජ් මෙහිදී අධිකරණය හමුවේ ප්‍රකාශ කර ඇති අතර, ඒ සඳහා නිදසුන් ගෙන හැර පාමින් ඔහු සඳහන් කර ඇත්තේ ධනුෂ්ක එසේ කළේ දැයි තමා නොදන්නා බවක් ඇය විසින් පසුව ඇගේ මිතුරියකට කළ ප්‍රකාශයකි.
තම සේවාදායකයා පොලිසිය හමුවේ පළමුවරට පැය දෙකක පමණ ප්‍රකාශයක් දෙනු ලැබුවේ කිසිදු නීතිඥවරයකුගේ ද සහාය නොමැතිව බවත්, ඔහු සෑම අවස්ථාවකදීම පොලිසිය සමඟ ඉතා මිත්‍රශීලීව කටයුතු කර ඇති බවත් මුරුගන් තංගරාජ් මෙහි දී අධිකරණයට ප්‍රකාශ කර තිබේ. එමෙන්ම පැමිණිලිකාරියගේ සාක්ෂි කිසිදු විශ්වාසයකින් තොර බවට ද ඔහු අධිකරණය හමුවේ තර්ක කර ඇතැයි වාර්තා වේ.
චෝදනා හතරක් යටතේ අත්අඩංගුවට ගෙන සිටි ධනුෂ්කට එරෙහිව අධිකරණයේ ගොනු කළ නඩුවෙන් චෝදනා 3ක්ම පොලිසිය විසින් පසුව ඉවත් කරගනු ලැබූ අතර, අධිකරණය මේ නඩුව විභාගයට ගෙන ඇත්තේ අකමැත්තෙන් හා උපත්පාලන කොපු භාවිත කිරීමකින් තොරව ලිංගිකව හැසිරීමේ චෝදනාව මත පමණි. නඩු විභාගය අඛණ්ඩව පවත්වාගෙන යෑමට අධිකරණය තීරණය කර ඇති අතර, තවත් දින තුනකින් හෝ හතරකින් නඩුව අවසන් කිරීමට විනිසුරු සාරා හගේට් මහත්මිය බලාපොරොත්තු වන බව ද එරට මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.
ෆවුස් මොහොමඩ්