Thursday, September 28, 2023
Home » තිලීපන් සැමරුම් තහනම්

තිලීපන් සැමරුම් තහනම්

by mahesh
September 20, 2023 1:00 am 0 comment

– සාමය කැඩුවොත් පොලිස් බලතල පාවිච්චි කරන්න
– කොටුව – මාලිගාකන්ද උසාවිවලින් නියෝග

තහනම් කෙරුණු එල්ටීටීඊ සංවිධානයේ දේශපාලන නායකයකු වන තිලීපන් සැමරීම සඳහා සැමරුම් උත්සව හෝ පූජා පැවැත්වීම තහනම් කරමින් කොටුව සහ මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණ ඊයේ (19) නියෝග නිකුත් කළේය. කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ සහ මාලිගාකන්ද අතිරේක මහේස්ත්‍රාත් ධම්මික හේමපාල මහත්වරුන් විසින් මෙම නියෝග නිකුත් කරන ලදි.

මරදාන හෝ කොල්ලුපිටිය කොම්පඤ්ඤවීදිය කොටුව ඇතුළු තදාසන්න ප්‍රදේශවලදී ක්‍රිස්තියානි සහයෝගිතා පෙරමුණේ මාරිමුත්තු සත්‍යවේල් පියතුමා ඇතුළු පිරිසක් තිලීපන් සැමරුම් උත්සවයක් පවත්වන බවට බුද්ධි අංශ අනාවරණය කර ඇතැයි කොටුව, කොල්ලුපිටිය, කොම්පඤ්ඤවීදිය පොලිස් ස්ථානාධිපතිවරුන් බී වාර්තාවක් ඉදිරිපත් කරමින් සිදු කළ දීර්ඝ කරුණු දැක්වීමෙන් අනතුරුව කොටුව මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය සිදු කළේය.

ගාලුමුවදොර, ජනාධිපති මන්දිරය, ජනාධිපති ලේකම් කාර්යාලය, මුදල් අමාත්‍යාංශය ඇතුළු ස්ථාන ගණනාවකට ඇතුළු වීම තහනම් කරමින් මෙම නියෝගය නිකුත් කළ මහේස්ත්‍රාත්වරයා එම නියෝගය වගඋත්තරකරුවන්ට කියවා භාර දෙන ලෙස පොලිසියට නියම කළේය.

1987න් පසු කොළඹදී පළමුවරට මෙම සැමරුම් උත්සවය පැවැත්වීමට සූදානම් කර ඇති බව බුද්ධි අංශ අනාවරණය කර ඇතැයි පොලිසිය අධිකරණයට දන්වා සිටියේය.

ත්‍රිකුණාමලය සිට යාපනය දක්වා පසුගියදා සැමරුම් උත්සවයක් සංවිධානය කර විරෝධය පෑ බව අධිකරණයට දන්වා සිටි පොලිසිය එහිදී ඊට විරෝධය පාමින් තවත් පිරිසක් ඔවුන් සමඟ ගැටී ඇති බවත් දන්වා සිටියේය.

මෙම පිරිස මරදාන ක්‍රිස්තියානි සාමූහික කේන්ද්‍රයේ සිට යතුරුපැදි හා පාපැදිවලින් පැමිණෙන බවට බුද්ධි අංශ අනාවරණය කර ඇති බව කී පොලිසිය විරෝධතාකරුවන් එලෙස පැමිණ ජනාධිපති මන්දිරයට, ජනාධිපති ලේකම් කාර්යාලයට, මුදල් අමාත්‍යාංශයට, ගාලුමුවදොර භූමිය ඇතුළු ස්ථාන ගණනාවකට ඇතුළු වී කලහකාරී ලෙස හැසිරිය හැකි බවත් එම ස්ථානවල රාජකාරියේ නිරත රාජ්‍ය සේවකයන්ට, රජයේ දේපොළවලට අලාභහානි විය හැකි බවත් අධිකරණයට දන්වා සිටියේය.

සියලු කරුණු සැලකිල්ලට ගත් කොටුව මහේස්ත්‍රාත්වරයා එල්ටීටීඊ සංවිධානයේ සාමාජික තිලීපන් සැමරුම හෝ පූජා පැවැත්වීම තහනම් කරමින් නියෝග නිකුත් කළේය.

කොළඹ සමාජීය සහ සාමයික කේන්ද්‍රයේදී තිලීපන් අනුස්මරණය කිරීමට රැස්වීමක් පැවැත්වීමට සූදානමක් ඇති බවත් එය පැවැත්වුවහොත් මහජන සාමය කඩවී බරපතළ තත්ත්වයක් ඇතිවිය හැකි බවට ඉංජිනේරුවරයකු කරන ලද පැමිණිල්ලක් අනුව මරදාන පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කරමින් කළ ඉල්ලීමක් අනුව මාලිගාකන්ද මහේස්ත්‍රාත්වරයා එම රැස්වීම සඳහා තහනම් නියෝගයක් නිකුත් කළේය.

1979 අංක 15 දරන අපරාධ නඩු විධිවිධාන සංග්‍රහයේ 106 වගන්තිය යටතේ පොලිසිය කළ ඉල්ලීම පිළිගත් අධිකරණය සැමරුම් රැස්වීමේ සංවිධායකයන් වන සන්ජුලා ඔෂනි පීටර්ස් හා තරිඳු උඩවරගෙදර යන මාධ්‍යවේදීන්ට සහ ඔවුන්ගේ අනුගාමිකයන්ට මෙම තහනම් නියෝගය නිකුත් විය.‍‍

සහකාර පොලිස් අධිකාරී ඩබ්.එම්.එම්.ආර්. සෙනරත්, මරදාන ප්‍ර.පො.ප. කුෂාන්ත, පො.ප. දිසානායක, ගිහාන් බණ්ඩාර (92805), පො.කො. ප්‍රේමරත්ත (97223) යන මහත්වරු පැමිණිල්ල මෙහෙය වූහ.

මේ අතර මහජන සාමය කඩ වන අයුරින් කොළඹ ප්‍රදේශයේ එල්ටීටීඊ සාමාජික තිලීපන් සමරා උත්සවයන් පැවතියහොත් පොලිස් බලතල ක්‍රියාත්මක කරමින් පුද්ගලයන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා කොළඹ ප්‍රදේශය ස්ථානාධිපතිවරුන් හත් දෙනකුට ඊයේ (19) නියෝග නිකුත් කළේය.

කොළඹ ප්‍රදේශයේ පොලිස් ස්ථානාධිපතිවරුන් ඒකාබද්ධව අධිකරණය හමුවේ කරන ලද කරුණු දැක්වීම සලකා මහේස්ත්‍රාත්වරයා නියෝග නිකුත් කරමින් සඳහන් කරනු ලැබුවේ යම් සිද්ධියක් සිදු වුවහොත් අධිකරණයට කරුණු වාර්තා කරන ලෙසටය.

කෙසෙල්වත්ත, පිටකොටුව, වේල්ල වීදිය, ආදුරුප්පු වීදිය, කුරුඳුවත්ත, මාලිගාවත්ත, කොටහේන යන පොලිස් ස්ථානවල ස්ථානාධිපතිවරුන් මෙලෙස අධිකරණය හමුවේ කරුණු දැක්වූහ.

තහනම් සංවිධානයක් වන එල්.ටී.ටී.ඊ. සංවිධානයේ තිලීපන් සමරා කොළඹදී සැමරුම් උත්සව පැවැත්වෙන බවට බුද්ධි තොරතුරු වාර්තා වූ බවත් එම උත්සවවලට එරෙහිව බෞද්ධ සංවිධාන තිහක් විරුද්ධව ක්‍රියාකරන බවට ද තොරතුරු ලැබී ඇතැයි පොලිසිය අධිකරණය හමුවේ පැවසීය.

සංජුලා ඕෂනී පිටර්ස්, තරිඳු උඩුවරගෙදර හා ක්‍රිස්තියානි සහයෝගිතා පදනම සත්‍යවේල් පියතුමා ඇතුළු පිරිසක් වගඋත්තරකරුවන් කරමින් පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කර තිබිණ.

මෙම සැමරුම් උත්සව පැවතියහොත් ජාතිවාදී අරගල ඇතිව ජීවිත හානි පවා සිදුවිය හැකි බව සඳහන් කරමින් 2023 /9/17 වන දින මෙවැනිම සැමරුමකදී ත්‍රිකුණාමල ප්‍රදේශයේ දී සැමරුම් පැවැත්වූ රථ වාහනවලට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් ද පොලිසිය අධිකරණයට කරුණු දැක්වීය.

අදාළ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා මහජන සාමය කඩ වන අයුරින් ක්‍රියා කළහොත් එය මැඬලීමට අලුතෙන් නියෝග අවශ්‍ය නැති බව සඳහන් කරමින් පොලිස් බලතල භාවිත කරන ලෙසට පොලිසියට නියෝග කළේය.

සුභාෂිණී සේනානායක, සිරන්ජනී කුමාරි සහ චන්දන ජයවීර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2023 – All Right Reserved. Designed and Developed by Lakehouse IT