Home » ශ්‍රී ලංකා රජය සහ මෙටා සමාගම අතර සහයෝගීතාව පුළුල් කර ගැනීමට අවධානය

ශ්‍රී ලංකා රජය සහ මෙටා සමාගම අතර සහයෝගීතාව පුළුල් කර ගැනීමට අවධානය

by chanaka
September 20, 2023 11:59 am 0 comment

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ නිව්යෝර්ක්හි මෙටා (Meta) සමාගමේ ගෝලීය සම්බන්ධතා අංශයේ සභාපති ශ්‍රීමත් නික් ක්ලෙග් මහතා (Sir Nick Clegg) අතර හමුවක් ඊයේ (19) නිව්යෝර්ක් නුවර දී සිදු විය.

අන්තර්ජාලය ඇතුළු සමාජ මාධ්‍ය ඔස්සේ පළවන වෛරී ප්‍රකාශ සහ අසත්‍ය ප්‍රචාර මැඩ පැවැත්වීම සඳහා ශ්‍රී ලංකා රජය ගෙන ඇති නව ක්‍රියාමාර්ග පිළිබඳව ජනාධිපතිවරයා මෙහිදී පැහැදිළි කළේය.

ඒ වෙනුවෙන් ඉදිරියේ දී හඳුන්වාදීමට යෝජිත පනත මඟින්, බලපෑමට ලක්වූවන්ට ශ්‍රේෂ්ඨාධිකරණය හරහා ක්‍රියාමාර්ග ගත හැකි බව ද ජනාධිපතිවරයා පැවසීය.

එසේම පාර්ලිමේන්තු කාරක සභා සමාලෝචනයේදී මෙම පනතට තවත් සංශෝධන එක් කළ හැකි බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණ අංශයේ සංවර්ධනය සඳහා ශ්‍රී ලංකාවේ සැලසුම් පිළිබඳ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී දීර්ඝ වශයෙන් විස්තර කරනු ලැබීය.

ශ්‍රී ලංකා රජය සහ මෙටා සමාගම අතර කෘත්‍රිම බුද්ධි (AI) ක්ෂේත්‍රයේ හවුල්කාරිත්වයක් ඇති කර ගැනීමේ අවස්ථා සොයා බැලීමටත්, ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල සංවර්ධනය කිරීමට මෙටා සමාගම සමඟ සහයෝගීතා වැඩසටහනක් ඇති කර ගැනීමටත් මෙහිදී යෝජනා විය.

දේශගුණික විපර්යාස අවම කිරීම සඳහා දත්ත මත පදනම් වූ වැඩසටහන් සංවර්ධනය කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක වැඩසටහන් සඳහා කෘත්‍රිම බුද්ධිය ( AI) භාවිතා කරන අතරම, අධ්‍යාපනය කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් මෙරට කෘත්‍රිම බුද්ධි (AI) ක්ෂේත්‍රය සංවර්ධනය කිරීම තම අවධානය යොමු කළ ප්‍රධාන ක්ෂේත්‍ර දෙක බව ද ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

දේශගුණ විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජේවර්ධන, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, ආයෝජන මණ්ඩලයේ සභාපති දිනේෂ් වීරක්කොඩි සහ ජනාධිපති ජාත්‍යන්තර කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ දිනුක් කොළඹගේ යන මහත්වරුන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT