Home » ජනපති සහ නේපාල අගමැති හමු වෙති

ජනපති සහ නේපාල අගමැති හමු වෙති

by yasara
September 20, 2023 11:56 am 0 comment

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ නේපාල අග්‍රාමාත්‍ය පුෂ්ප කමල් දහාල් මහතා අතර නිල හමුව එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩල සැසිවාරයට සමාගාමීව අද (20) නිව්යෝර්ක් නුවරදී සිදු විය.

දෙරට අතර අතීතයේ සිට පවතින දේශපාලනික, ආර්ථික සහ වෙළෙඳ සබඳතා තවදුරටත් වර්ධනය කර ගැනීම පිළිබඳව මෙහිදී නායකයන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ අතර මෙම වසරේ අවසානයේ පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා-නේපාල ඒකාබද්ධ කොමිසමේ සමාරම්භක සැසිය ඒ සඳහා ඉතා වැදගත් පියවරක් වනු ඇති බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ ය.

ශ්‍රී ලංකාව සහ නේපාලය අතර ද්විපාර්ශ්වික සබඳතා ඉදිරියේ දී ශක්තිමත්ව ඉදිරියට ගමන් කරනු ඇති බවට මෙහිදී විශ්වාසය පළ කළ නේපාල අග්‍රාමාත්‍යවරයා දෙරට අතර වෙළෙඳ සහ ආයෝජන සබඳතා ශක්තිමත් කර ගැනීමට ඇති හැකියාව පිළිබඳව ද අදහස් දැක්වීය.

ශ්‍රී ලංකා සහ නේපාල ජනතාව අතර ආගමික හා සංස්කෘතික වශයෙන් බොහෝ සමානතාවයන් පවතින බවත්, දෙරට අතර සබදතා පුළුල් කර ගැනීමේ දී එය මනා රුකුලක් වනු ඇති බවත් මෙහිදී නායකයන් දෙපළ පිළිගත්හ.

එසේම ශ්‍රී ලංකාව සහ නේපාලය අතර අධ්‍යාපන අවස්ථා ඉහළ නංවා ගැනීම මගින් අන්තර් පුද්ගල සබඳතා වැඩි දියුණු කර ගැනීම සහ සංචාරක ක්ෂේත්‍රයේ සබඳතා වර්ධනය කර ගැනීම පිළිබඳව ද විශේෂ අවධානයක් යොමු කෙරුණු අතර බහුපාර්ශ්වික සංසදවලදී දෙරට අතර සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කර ගැනීම පිළිබඳව ද නායකයන් විසින් සාකච්ඡා කරන ලදී.

විදේශ අමාත්‍ය අලි සබ්‍රි, නිව්යෝර්ක් හි එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත මොහාන් පීරිස් යන මහත්වරු සහ ශ්‍රී ලංකාවේ සහ නේපාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් මෙම හමුවට එක්ව සිටියහ.

 

 

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT