Thursday, September 28, 2023
Home » අතරමඟ නැවතුණු මාර්ග වැඩ කඩිනමින් ඇරඹීමට සැලසුම්

අතරමඟ නැවතුණු මාර්ග වැඩ කඩිනමින් ඇරඹීමට සැලසුම්

by mahesh
September 20, 2023 1:00 am 0 comment

ඉදිකිරීම් අතරමඟ නැවතී ඇති මාර්ග පද්ධතියේ වැඩ කටයුතු නැවත කඩිනමින් ආරම්භ කිරීමට රජය සැලසුම් කර තිබෙන බව මහාමාර්ග රාජ්‍ය ඇමැති සිරිපාල ගම්ලත් මහතා පැවැසීය.

රාජ්‍ය ඇමැතිවරයා මේ බව පැවැසුවේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් පෙරේදා (18) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය ඇමැතිවරයා මෙලෙස ද කීවේය.

“ඉදිරි අය-වැයෙන් ඒ සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන වෙන් කිරීමට නියමිතයි. එම මාර්ගවල ඉදිකිරීම් කඩිනමින් නිම කර ජනතා අයිතියට පවරා දීමට කටයුතු කරනවා.

මම රාජ්‍ය ඇමැති ධුරය භාර ගන්න කොට මහාමාර්ග ව්‍යාපෘති බොහෝමයක් අතරමඟ නැවතී කොන්ත්‍රාත්කරුවන්ට රුපියල් බිලියන 180ක් පමණ ගෙවිය යුතුව තිබුණා. එයින් රුපියල් බිලියන 151ක් දැනටමත් ගෙවා අවසන්. තවත් රුපියල් බිලියන 29ක් පමණ ගෙවීමට තිබෙනවා. හිඟ මුදල් දීම හේතුවෙන් ඇතැම් කොන්ත්‍රාත්කරුවන් නැවතත් ව්‍යාපෘති ආරම්භ කර තිබෙනවා.

රටේ මාර්ග සංවර්ධනයේදී ප්‍රමුඛතාව දී තිබෙන්නේ මාර්ග සංවර්ධන අධිකාරිය යටතේ ක්‍රියාත්මක වන ව්‍යාපෘතිවලට. මේ අනුව ‘A’ සහ ‘B’ ශ්‍රේණියේ මාර්ග, මාර්ග සංවර්ධන අධිකාරියෙන් නඩත්තු කරනවා. දිවයින පුරා පිහිටි කිලෝමීටර් 12,225ක මාර්ග ප්‍රමාණයක් සහ කිලෝමීටර් 312කින් සමන්විත අධිවේගී මාර්ග, පාලම් 5432ක්, ගුවන් පාලම් 12ක්, බෝට්ටු සහ පාලම් පාරු 9ක් මාර්ග සංවර්ධන අධිකාරියෙන් වාර්ෂිකව නඩත්තු කරනවා.

නිෂ්පාදන ආර්ථිකයක් ක්‍රියාත්මක කිරීමටත්, ජනතාවගේ ජීවන තත්ත්වය දියුණු කිරීමටත් මාර්ග පද්ධතිය ඉතා වැදගත්. මාර්ග පුළුල් කිරීමේ කටයුතු සඳහා විදේශීය මුදල් යොදවන්න බෑ. කුඩා පාලම් සහ මහාමාර්ග නඩත්තු කිරීමට වාර්ෂිකව විශාල මුදලක් වැය වෙනවා.

මීරිගම, කුරුණෑගල මාර්ගයේ වැඩ අවසන් කර තිබෙනවා. කිලෝමීටර් 31කින් සමන්විත පොතුහැර සිට ගලගෙදර දක්වා වූ මාර්ගයේ පළමු කිලෝමීටර් 13 වැඩ කටයුතු සාමාන්‍ය පරිදි සිදු කෙරෙමින් පවතිනවා.

2019 වසරේ ආරම්භ කළ වරාය පිවිසුම් ගුවන් මාර්ගයේ නව කැලණි පාලමේ සිට ගාලු මුවදොර දක්වා වූ කුලුනු මතින් දිවෙන විශේෂිත මාර්ගය ආසියානු සංවර්ධන බැංකුවේ ණය ආධාර යටතේ ක්‍රියාත්මක වෙනවා. කොළඹ කොටුව සහ වරාය වැනි කාර්යබහුල ප්‍රදේශවල පවතින මාර්ග තදබදය අවම කර ගැනීමට මෙයින් හැකියාව ලැබෙනවා. වරාය පිවිසුම් ගුවන් මාර්ගය 2024දී ජනතා අයිතියට පත් කිරීමට සැලසුම් කර තිබෙනවා.

කොහුවල ගුවන් පාලමේ ඉදිකිරීම් කටයුතුවලින් 85%ක් ද, හංගේරියානු ණය ආධාර යටතේ ක්‍රියාත්මක පේරාදෙණිය ගුවන් පාලමේ වැඩ කටයුතුවලින් 35%ක් ද අවසන් වෙලා තිබෙනවා.

මාර්ග ලක්ෂයක් ඉදිකිරීමේ වැඩසටහන යටතේ මාර්ග 13,160ක වැඩ ආරම්භ කර තිබෙනවා. එම කිලෝමීටර් ප්‍රමාණය 17,850ක්. එයින් මාර්ග 5201ක වැඩ එනම් මාර්ග කිලෝමීටර් 6300ක වැඩ දැනටමත් අවසන්ව තිබෙනවා.

සමස්ත ව්‍යාපෘතිය වන කිලෝමීටර් 17,850ක් වූ මේ මාර්ග ඉදිකිරීමට රජය රුපියල් බිලියන 231ක් ඇස්තමේන්තු කර තිබෙනවා. දැනට නිම කර තිබෙන ව්‍යාපෘති වෙනුවෙන් රුපියල් බිලියන 160ක් ගෙවා තිබෙනවා. තවත් රුපියල් බිලියන 70ක් පමණ ගෙවීමට තිබෙනවා.

ඉදිරි අය-වැයෙන් මාර්ග නඩත්තු කිරීමටත්, අතරමඟ වැඩ නතර වූ මාර්ග ව්‍යාපෘති නැවත ආරම්භ කිරීමටත් මුදල් වෙන් කිරීමට සැලසුම් කර තිබෙනවා.”

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2023 – All Right Reserved. Designed and Developed by Lakehouse IT